ඉන්දියානු සාගර කලාපය තුළ චීන බලපෑම වර්ධනය වීම ඇතුළු කාරණා 4ක් විවාදයට ගනිමින් දෙමළ ඊළාම් පාරජාතික ආණ්ඩුවේ (TGTE) තුන්වන පාර්ලිමේන්තුවේ නව වන රැස්වීම අද (මැයි 19) සිට අනිද්දා (මැයි 21) දක්වා අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පැවැත්වෙන බව එම සංවිධාන වෙබ් අඩවිය පවසයි.
ස්වාධීන හා ස්වෛරී දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමෙහිලා ගෝලීය දෙමළ ජනතාවගේ භූමිකාව, ජනමත විචාරණය – ජනතා ව්‍යාපාරයට එකඟතාව පළ කිරීම හා ජාතිය ගොඩනැගීම යන තේමා ද මෙහිදී විවාදයට ගැනීමට නියමිත බව කිය යි.
ලොව පුරා සිටින පාරජාතික ආණ්ඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සෙනෙට් සභා සාමාජිකයන් එහි උපදේශක කමිටුව මේ අවස්ථාවට සහභාගි වන බව ද එම වෙබ් අඩවියේ සඳහන් වේ.
මීට අමතරව මෙම රැස්වීමේදී යෝජනා ගණනාවක් සම්මත කරගැනීමට අපේක්ෂිත අතර අමාත්‍ය මණ්ඩලයේ වාර්තා මෙන්ම TGTEහි වාර්ෂික අය-වැයද රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇතැයි එම වෙබ් අඩවියේ වැඩිදුරටත් කරුණු සඳහන් වේ.
මෙහි ප්‍රධාන දේශනය බෝගන්විලේ ස්වයං පාලන කලාපයේ හිටපු ජනාධිපති ජේම්ස් ටැනිස් සිදු කිරීමට නියමිත අතර පාර්ලිමේන්තු විකාශය ගෝලීය දෙමළ ප්‍රජාවට සජීවීව නැරඹීමට ද අවස්ථාව සලසා ඇත.
ශ්‍රී ලංකාව තුළ වෙන ම ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන සංවිධාන 16ක් ශ්‍රී ලංකා රජය විසින් 2014 අප්‍රේල් මසදී තහනම් කරන ලද අතර ඊට TGTE සංවිධානය ද ඇතුළත් වී තිබිණි.
එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ 2021 වසරේදී අසාදු ලේඛනගත කර ඇති සංවිධාන 316 අතරද දෙමළ ඊළාම් පාරජාතික ආණ්ඩුව වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක දෙමළ ඊළාම් පාරජාතික ආණ්ඩුව යනු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බිඳවැටීමෙන් පසු දෙමළ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඔබ්බෙහි අන්තර් රාජ්‍ය සාමාජිකත්වයකින් යුතුව පවත්වාගෙන යන සංවිධානයකි.
එය පශ්චාත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට අයත් පෙරමුණු සංවිධානයක් යැයි දේශපාලන විචාරකයෝ පවසති.
දෙමළ ඊළාම් පාරජාතික ආණ්ඩුව පසුගිය මාර්තුවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පෙත්සමක් යොමු කළ නමුත් ඉන්දීය රජය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබී ය.