රට තුළ නැවතත් අර්බුදයක් ඇති කර සමස්ත ක්‍රියාවලිය ම අස්ථාවර කිරීමට කණ්ඩායමක් කටයුතු කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (ජූලි 6දා) පැවසීය.
මෙම කණ්ඩායම්වලට අයත් සාමාජිකයන් පසුගිය සතියේ මහනුවර, ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයකදී වැඩමුළුවක් පවත්වා ඊට සහභාගි වූවන්ට විරෝධතාවකදී හමුදාව හා පොලිසියට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදී ඇති බව ද ‘මව්බිම‘ කළ විමසීමේදී හෙතෙම කීය.
විරෝධතාකරුවන්, හමුදාව හා පොලිසියට විරෝධතාවකදී ප්‍රතිචාර දැක්වීම හා කඳුළු ගෑස්, ජල ප්‍රහාර සඳහා මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවීමක් මෙහිදී සිදු කර ඇතැයි වාර්තා වේ.
රට අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන විවිධ කණ්ඩායම් ඉදිරියේදී වැඩ වර්ජන රැල්ලක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද එම බුද්ධි වාර්තා පෙන්වා දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
දැවැන්ත අර්බුදයකට මුහුණ දීමෙන් පසු රට නැවත යථා තත්ත්වයට පත්වීම වැළැක්වීමට මෙම කණ්ඩායම් උත්සාහ ගන්නා බවත් මේ සියලු කණ්ඩායම්හි ක්‍රියාකාරකම් බුද්ධි අංශය නිරන්තරයෙන් අවේක්ෂණය කරන බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
බුද්ධි අංශය දුර්වල වී රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇති වී ඇතැයි විවිධ පාර්ශ්වයන් පැවැසුව නමුත් බුද්ධි අංශය ඉතා ශක්තිමත් බව ද ඔහු සඳහන් කළේ ය.
රට තුළ ඇති වූ පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ද බුද්ධි අංශයට චෝදනා එල්ල වූ නමුත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබුණ ද ඒ අනුව ක්‍රියාත්මක වීමක් නොවුණු බව ද ඔහු පැවැසීය.
ඒ අනුව, පාස්කු ප්‍රහාරය සිදු වූයේ බුද්ධි අංශයේ දුර්වලතාවක් හේතුවෙන් නොවන බව තමාගේ අදහස බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
රට තුළ නැවත වරක් සංවිධානාත්මක පිරිසක් එකතු වී රටේ සියලු ක්ෂේත්‍ර අඩපණ කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද පසුගිය ඉරිදා (ජූලි 2) සඳහන් කළේ ය.
සංවිධානාත්මක පිරිසක් සැප්තැම්බර් මාසයේදී වර්ජන මඟින් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රය අඩපණ කිරීමේ සැලැස්මක නිරතව සිටින බව ද ‘ස්ථාවර රටකට සැවො ම එක මගක’ මැයෙන් ජනාධිපති මාධ්‍ය අංශය සංවිධානය කර තිබුණු ප්රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ ය.
රට අස්ථාවර කර දැවැන්ත අර්බුදයක් නැවත ආරම්භ කිරීමේ පළමු පියවර ඉතා සංවේදී සෞඛ්‍ය ක්ෂේත්රයෙන් ආරම්භ කිරීමට මෙම සංවිධානාත්මක කණ්ඩායම කටයුතු කරන බව ද ඔහු වැඩිදුරට ත් එහිදී පැවසුවේ ය.