Home Local News Room : “පඬු කරඳ ශාකය විනාශ කිරීම නීති විරෝධී ක්‍රියාවක්” –...

News Room : “පඬු කරඳ ශාකය විනාශ කිරීම නීති විරෝධී ක්‍රියාවක්” – ආචාර්ය ජගත් ගුණවර්ධන

4
0

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතෙන් ආරක්ෂිත ශාකයක් වූ ගම්පහ දාරළුවේ පිහිටි පඬු කරඳ (කෲඩියා සිලනිකා) ශාකය අතු කපා දමා මුල් උගුල්ලා විනාශ කිරීම නීති විරෝධී යැයි ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන ‘මව්බිම’ට පැවසීය.

මේ ශාකය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශය පවා නොතකමින් අත්තනෝමතික අයුරින් කටයුතු කිරීම කිසිසේත් ම අනුමත කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය.

හානියක් නොවන අයුරින් ඉතා ආරක්ෂිතව මේ ශාකය වෙනත් ස්ථානයක ප්‍රතිෂ්ඨාපනය කරනවා වෙනුවට එය සහමුලින් ම විනාශ කර දැමීම කිසි ලෙසකින්වත් සාධාරණීයකරණය කළ නොහැකි බව ද හෙතෙම කීය.

වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වගන්තිය යටතේ ආරක්ෂිත ශාක විශේෂයක් ලෙස නම් කර ඇති පඬු කරඳ ශාකය පරිසර අමාත්‍යංශය 2021 වසරේදී සකස් කළ ජාතික රතු දත්ත ලේඛනයට අනුව වඳ වී යාමට ආසන්න තත්ත්වයේ පවතින්නක් යැයි ද ඔහු පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සහ පරිසර හා සමාජ සංවර්ධන අංශය මගින් නිසි ක්‍රමවේදයකට යටත්ව මෙම ශාකය සංරක්ෂණය කිරීම හා අධිවේගී මාර්ග සංවර්ධනය තුළින් ක්‍රියාත්මක කර තිරසර සංවර්ධන උපායමාර්ගවලට පිවිසීමේ හැකියාව තිබියදී ඒ සඳහා අතිරික්ත වැයක් දැරීමට සිදු වන බව සඳහන් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය එය බලහත්කාරයෙන් විනාශ කිරීමට ක්‍රියාමාර්ග ගැනීමෙන් සමාජයට වැරදි පූර්වාදර්ශ ලබාදී ඇතැයි පරිසරවේදී සජීව චාමිකර සඳහන් කළේ ය.

ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලතම හා ඉතා ම දුර්ලභ පඬු කරඳ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්තර 4ක් භාවිත කර නීති විරෝධීව සම්පූර්ණයෙන් ම විනාශ කර දමනු ලැබ ඇතැයි ද ඔහු චෝදනා කළේ ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති පළමු කොටසට අයත් වන භූමියක පිහිටි මෙම ශාකය ක්‍රමවත්ව සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අනීතිකව හා බලහත්කාරය භාවිත කර මෙසේ විනාශ කර දමා තිබෙන බව ද හෙතෙම පැවසීය.

එය කපා ඉවත් කර, මුල් කොටස් ගලවා ඉවත් කිරීම හා වළවල් හාරා ශාකයේ කොටස් වළ දමා පස් ඇතිරීම ඇතුළු සියලු ක්‍රියා ඉතා ම සංවිධානාත්මකව සිදු කර ඇති බව ත් ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ගේ ද උපදෙස් ලැබුණු බවට තොරතුරු අනාවරණය වී ඇති බව ත් ඔහු කීය.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වැනි වගන්තිය යටතේ ඇති ආරක්ෂිත ශාකයක් කපා ඉවත් කිරීම ඇතුළු කුමන ආකාරයක හෝ හානි සිදු කිරීමක් නීති විරෝධී ක්‍රියාවක් නිසා එයට සම්බන්ධ වූ සහ උපදෙස් ලබා දුන් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පමණක් නොව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු සියලුම නිලධාරීන් වරදකරුවන් බවද සජීව චාමිකර අවධාරණය කළේ ය.

බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් හතර දෙනෙකුට මෙවැනි විනාශයක් සිදු කළ නොහැකි නිසා මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කර නීති විරෝධී ක්‍රියාවේ නිරත වූ සියලු පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පැවසීය.

එමෙන් ම, මේ ශාකයේ කොටස් සංරක්ෂණය කිරීම සඳහා ද සැලැසුම් ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here