Home Local News Room : AI භාවිතයෙන් ථෙරවාදී බුදු දහම ව්‍යාප්ත කිරීමට ජනපතිගෙන් ප්‍රතිපාදන

News Room : AI භාවිතයෙන් ථෙරවාදී බුදු දහම ව්‍යාප්ත කිරීමට ජනපතිගෙන් ප්‍රතිපාදන

3
0

ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ය.

ඒ වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බව ත්, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත්, වියත් පිරසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, අද (ජූලි 20) පෙරවරුවේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවන මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන ජාතික උපසම්පදා විනය කර්මය අද (ජූලි 20) සිට ජූලි 27 වන දා දක්වා මාතලේ බණ්ඩාරපොල සුදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී පැවැත්වේ.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේට “දර්ශන විශාරද උපාධි” ශ්‍රී සන්නස්පත්‍රය හා විජිණිපත පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේට හා පූජ්‍ය මුගුණෙවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ගෞරවනාම සන්නස්පත්‍ර පිළිගැන්වීම ද වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්මයට සහභාගි වීම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද සමරු තිළිණයක් පිළිගැන්විණි.

රාමඤ්ඤ මහා නිකාය විසින් සංස්කරණය කරන ලද “පටිපදා ශාස්ත්‍රීය සංග්‍රහය” මහනායක ස්වාමීන් වහන්සේට හා ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

“රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා මහෝත්සවයට සහභාගි වීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඉන්දීය සංචාරය හමුවේ වුවත් මට මෙම අවස්ථාව සඳහා සහභාගි වීමට ලැබෙන පරිදි උත්සව කටයුතු සංශෝධනය කිරීම පිළිබඳව ස්වාමීන් වහන්සේලාට මෙන් ම දායක සභාවට ද මම ස්තූතිවන්ත වෙනවා.

මම මෙවර ඉන්දියානු නිල සංචාරය සිදු කරන්නේ දෙරට අතර ඉදිරි සබඳතා පිළිබඳ සාකච්ඡා කිරිමටයි. ඒ වගේ ම මෙරට ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ඉන්දීය රජය අපට ලබාදුන් සහය පිළිබඳ ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

රාමඤ්ඤ මහා නිකාය මෙම උපසම්පදා මහෝත්සවය මාතලේ ප්‍රදේශයේ පැවැත්වීම බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂ වනවා. ඒ වගේ ම මාතලේ පුරවරයට බෞද්ධ ඉතිහාසය තුළ වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට තැබූ පළමු පියවර තැබුවේ මාතලේ අලුවිහාරයේදී යි. ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට රජයක් ලෙස මේ වන විට අප කටයුතු කර තිබෙනවා. ත්‍රිපිටකය සුරකිනවා යනු උතුම් සද්ධර්මය සුරැකීමයි. බෞද්ධ රටක් ලෙස ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ලෝකයට බුදු දහම රැගෙන යාමට අප කටයුතු කර තිබෙනවා.

මහායාන බුදු දහම තුළත් ත්‍රිපිටකය පිළිබඳ සඳහන් වෙනවා. චීනය මුද්‍රණය කර තිබෙන ලෝටස් සූත්‍රය ඇතුළත් මහායාන ත්‍රිපිටකය ලෝකයේ පළවන මුද්‍රණය ලෙස සලකන්න පුළුවන්. ගර්ටන්බර්ග් මහතා බයිබලය මුද්‍රණය කළේ ඉන් පසුවයි. ඒ වගේ ම ථෙරවාද බුදුදහම ඇතුළත් ත්‍රිපිටකයත් මේ වන විට මුද්‍රණය කර තිබෙනවා.

ධර්මය ආරක්ෂා කිරීමට වර්තමානයේ තිබෙන තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේ ම කෘත්‍රිම බුද්ධිය පිළිබඳව මේ වන විට සමාජය තුළ දැනුවත්භාවයක් තිබෙන නිසා ඊට ත් වඩා පහසුවෙන් ධර්මය සුරක්ෂිත කිරීමට එය දායක කර ගත හැකියි.

කෘත්‍රිම බුද්ධියට බුදු දහම පිළිබඳ සියලු දත්ත ඇතුළත් කිරීමෙන්, ඒ පිළිබඳ අසන ඕනෑ ම ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට හැකියාව තිබෙනවා. දුටුගැමුණු රජතුමා පිළිබඳව තිබෙන සියලු ම තොරතුරු කෘත්‍රිම බුද්ධියට ලබා දුන්නොත් ඊට අදාළව අසන ඕනෑ ම ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට කෘත්‍රිම බුද්ධියට හැකියාව තිබෙනවා.

වික්ටෝරියා රැජිණ පිළිබඳව තොරතුරු ඇතුළත් කළ ත් එලෙස ම පිළිතුරු සැපයීමට කෘත්‍රිම බුද්ධියට හැකියාව තිබෙනවා. තොරතුරු ලබා දෙනවා පමණක් නොව එය ප්‍රකාශ කිරිමේ හැකියාව GPT තාක්ෂණයෙන් ලැබී තිබෙනවා. මෙම නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් බුදු දහම තවදුරටත් සුරක්ෂිත කිරීමට කටයුතු කළ හැකි යි.

බෞද්ධ ධර්මය දෙවියන් පදනම් කර ගත් ආගමක් නොවන බව අද සියලු දෙනා පිළිගන්නවා. බුද්ධ දේශනයේ සඳහන් වෙන්නේ ධර්මයක්. එය ඕනෑ ම අයෙකුට පිළිපැදිය හැකියි. කැමති නම් පිළිපදින්නෙ නැතුව සිටිය හැකියි. ධර්මය පිළිපදිනවා නම් එය තවදුරටත් විග්‍රහ කළ හැකියි. ඒ නිසා තමයි ධම්ම පදයේ “මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා,” යනුවෙන් සඳහන් වෙන්නේ. ධර්මය පිළිපදින්නේ මනසින්. මිනිස් ඥානය වගේ, අනෙක් පැත්තෙන් දැන් කෘත්‍රිම ඥානය ද තිබෙනවා. මෙම කෘත්‍රිම ඥානය අපට තර්ජනයක් වෙයි ද, අපට අවශ්‍ය ලෙස ප්‍රයෝජනයට ගත හැකි ද? ඊළග දශක දෙක තුන තුළ ඇතිවිය හැකි ප්‍රශ්නය එය යි.

දැන් ඇතැම් අය කෘත්‍රිම ඥානයෙන් ප්‍රයෝජන ගනිමින් සිටිනවා. ජපානයේ සෙන් බුදු දහම කෂුමා කියල පුද්ගලයෙක් hotoke.ai වැඩසටහනින් සෙන් බුදු දහමට අදාළව පිළිතුරු ලබා දෙන ආකාරය පසුගිය දිනක දකින්න ලැබුණා. එහි සඳහන් වන්නේ “බුද්ධ ධර්මය අත ළඟ” යනුවෙනි. නමුත් අපි බලාපොරාත්තු වෙන්නේ එවැන්නක් නොවෙයි. එතැන විකෘති කිරීමක් සිදුව තිබෙනවා.

බුදු දහමේ පමණක් නොවෙයි අනෙකුත් ආගම්වලත් මෙම විකෘති කිරීම් දකින්න ලැබෙනවා. බයිබල් GPT කියලා තවත් වැඩසටහනක් තිබෙනවා. එහි සඳහන් වන්නේ, “ක්‍රිස්තියානි ආගම ජේසුස්වහන්සේගේ මුවින්,” යනුවෙනි. නමුත් එය එසේ විය නොහැකියි.

මෙවැනි ආගමික විකෘති කිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන නිසා අපට නීතියෙන් එය පාලනය කිරිමට ද හැකියාවක් නැහැ. ඒ නිසා මේවා පිළිබඳව අපේ අවධානය යොමු විය යුතුයි.

ඒ වගේ ම කෘත්‍රිම බුද්ධිය ධර්මය සදහා භාවිත කිරීමේදී අප මීට වඩා ගැඹුරින් ඒ පිළිබඳ පරීක්ෂණ කළ යුතුයි. ඒ නිසා අපි තීරණය කළා මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 200ක පමණ මුදලක් වෙන් කිරීමට. තව ත් වැඩිපුර මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ද කටයුතු කළ හැකි යි.

ථෙරවාද බුදු දහම ලෝකයට ගෙන යාමේදී කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම පිළිබද අපේ අවධානය යොමුව තිබෙනවා. එහිදී අභිධර්මය පිළිබඳව ද ගැඹුරු විග්‍රහයක් සිදු කළ යුතුයි. මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම පිළිබඳ අපේ ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා. ඒ සදහා උන්වහන්සේලාට ආරාධනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකතනයෙන් සමාජ මාධ්‍ය තුළ සැරිසනවා මිස අද බෙහෝ දෙනෙක් බයිබලය, ත්‍රිපිටකය වැනි ආගමික ග්‍රන්ථ කියවන්නේ නැහැ.
අතීතයේ සිට ම ථෙරවාදී බුදු දහම ආරක්ෂා කිරීමට කැප වූ ශ්‍රී ලංකාව එය තවදුරටත් සුරක්ෂිත කරමින් ලෝකයට ගෙන යාමට කැපවිය යුතුයි. කෘත්‍රිම බුද්ධිය ප්‍රයෝජනයට ගනිමින් මෙම උතුම් කාර්යය ඉටුකිරීමේ වැඩපිළිවෙළ මහා සංඝරත්නයෙන් අවවාද අනුශාසනා මෙන් ම උගත් වියත් පිරිසකගේ අදහස් ලබා ගෙන ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. එම කටයුතු සම්බන්ධීකරණය සදහා ජනාධිපති ලේකම්වරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද පත් කර තිබෙනවා.

ඉන් පසුව සාකච්ඡා මාර්ගයෙන් මෙම කටයුතු ඉදිරියට කරගෙන යමු කියා මම සියලු දෙනාට ආරාධනා කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here