Home Local News Room : “අලුතින් සිතා ඉදිරියට නොගියොත් වසර 10කින් රට යළි බංකොලොත්”

News Room : “අලුතින් සිතා ඉදිරියට නොගියොත් වසර 10කින් රට යළි බංකොලොත්”

2
0

පසුගිය සමය තුළ රටට ත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදුනොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (අගෝ. 13) පැවසීය.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බව ත් නිවැරදි තීන්දු තීරණ සමග ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බව ත් හෙතෙම පැවැසුවේ මාතලේ ශාන්ත තෝමස් විදුහලේ 150 වන සංවත්සර උත්සවයේදී ය.

අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක මහතාගෙන් පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ඊයේ පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් ස්ථාපනය කර තිබූ සමරු ඵලකය නිරාවරණය කළ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේ ය.

සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයත් සමගින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව ත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් පැවැසූ ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමග ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බව ද කීය.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේ ද කීය.

“මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය ආරම්භ කර වසර 150ක් ගතව තිබෙනවා. මෙම පාසල ආරම්භ කරන විට මේ රටේ තිබුණේ වැවිලි ආර්ථිකයක්. කෝපි වගාව විශාල ලෙස ව්‍යාප්ත වී තිබුණා. නමුත් වසර කිහිපයක් ගතවන විට කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ වී ගිය අතර ආර්ථිකය කඩා වැටී ආණ්ඩුවට ආදායමක් නැතිව ගියා. අනතුරුව වසර 15 – 20ක පමණ කාලයකින් තේ වගාව ආරම්භ කරනතුරු රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වුණා. නව වැවිලි බෝග ලෙස තේ වගාවත් රබර් වගාවත් ආරම්භ කිරීමෙන් පසු නැවතත් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වුණා.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය අද 150 වන සංවත්සරය සමරන අවස්ථාව වන විටත් රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. පසුගිය වසරේ පිපිරී ගිය එම ආර්ථික අර්බුදය නිසා ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් රටට විශාල බලපෑමක් එල්ල වුණා.

මෙම වසර අවසන් වන විට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගනිමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බව අප විශ්වාස කරනවා. නමුත් එය සිදුකිරීමට නම් අප රාජ්‍ය වියදම් පාලනය කළ යුතුයි. ඒ වගේම

නිෂ්පාදන ආර්ථියක් බවට පරිවර්තනය වීමට ද අවශ්‍යයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. අප ගනු ලබන පියවර නිසා “බංකොලොත්” යන ලේබලය ඉවත් කරගන්නට හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළඟ පියවර නොගතහොත් තවත් වසර 10ක් යන තැන නැවත බංකොලොත් භාවයට පත්වෙනවා. එසේ නම් නව ක්‍රමයක් ඔස්සේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමේ මූල්‍ය විනයක් එහිදී තිබිය යුතුයි.

ඒ වගේ ම සෑම රාජ්‍ය ආයතනයකින් ම උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි. මේ වන විටත් අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේ ම රජයට අයත් ඉඩම්, ගොඩනැඟිලි හා වාහන පිළිබඳ වාර්තාවක් සකස් කිරීම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. මේ වසර අවසන් වන විට එම තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනා මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. නමුත් අවාසනාවකට අධිකරණයට ගොස් එය නතර කිරීමට ඇතැමුන් උත්සාහ කළා. එහිදී මූලිකව මතු කළ ගැටලුවක් තමයි සේවක අර්ථසාධක අරමුදලෙහි ප්‍රශ්නය. නමුත් මේ වන විට එහි සියලු සාමාජිකයන්ට 9%ක පොලියක් ලබා දෙන බවට නීති කෙටුම්පතක් ඉදිරිපත් කර එම කටයුතු සිදුකරගෙන යනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ නතර කිරීමට කිසිදු හේතුවක් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය අනුව මූල්‍ය බලතල පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන කිසිවකුට නොවෙයි. ඒ වගේම මීට අදාළව ගොනුකළ සියලු පෙත්සම් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් කර ගැනීමෙන් පසු අප නිසි ලෙස ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතුයි. අද බොහෝ දෙනෙක් මේ රට හැර ගොස් තිබෙනවා. එලෙස රටින් පිටව ගිය විශේෂඥයන්, වෘත්තීවේදින්ගේ සංඛ්‍යාව දෙස බලන විට අපට පහසුවෙන් එම හිඩැස පුරවාගත නොහැකියි. කෙසේ හෝ සියලු දෙනාට ජීවත්විය හැකි හොඳ ආර්ථික පසුබිමක් රට තුළ ගොඩනැගීමට අප දැන් කැප වී සිටින බව කිව යුතු යි.

ආණ්ඩුවට ලැබෙන ආදායම, වියදම් පියවීමට ප්‍රමාණවත් නොවීම සහ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩි වීම අද මේ රට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස පෙන්වා දිය හැකියි. හැමදා ම මේ සඳහා ණය ගැනීමට අපට හැකියාවක් නැහැ. ණය ප්‍රශස්තකරණයෙන් පසු නැවත මෙම ප්‍රශ්නය මතු වෙනවා. අප එය

වළක්වාගත යුතුයි. ඒ සඳහා අප දළ දේශීය නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහළ නංවාගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළ විට රටට ලැබෙන ආදායම ඉහළ යනවා. අනෙක් පසින් අපනයනය ද වැඩිකර ගත යුතුයි. මෙම වැඩපිළිවෙළ ඉදිරි වසර 10දී අප ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

අද ආණ්ඩු පක්ෂයේ වුණත් විපක්ෂයේ වුණත් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨවලින් වැඩක් නැහැ. රට මුහුණදී තිබෙන අභියෝගය මනා ලෙස විග්‍රහ කරමින් ඒ සඳහා ඇති විසඳුම් සමග අප ඉදිරියට යා යුතු යි. එම විසඳුම් පිළිගන්නේ නැති නම් ප්‍රශ්න විසඳිය හැකි විකල්ප ඉදිරිපත් කළ යුතු යි.

මෙරට ආර්ථිකය දියුණු කිරීමට නම් විදේශ විනිමය ලෙස වසරකට ඩොලර් බිලියනයක් අවම වශයෙන් අවශ්‍ය වෙනවා. පළමුව කළ යුතුව තිබෙන්නේ දැනට තිබෙන ක්ෂේත්‍රවලින් විදේශ විනිමය ඉහළ නංවා ගැනීමයි.

අපට ප්‍රධාන වශයෙන් තිබෙන්නේ විදේශ රැකියාවලින් ලැබෙන ආදායමයි. දෙවනුව අපනයන ආදායම. ඇඟලුම් කර්මාන්තය ගත් විට විශේෂයෙන් යුරෝපය, අමෙරිකාව වැනි රටවල ආර්ථිකය මේ වන විට යම් පසුබෑමක් පෙන්නුම් කරනවා. ඒ නිසා මෙම වසරේ අපට එම අංශවලින් විශාල මුදලක් බලාපොරොත්තු වෙන්න බැහැ. එසේ නම් අප සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මෙම වසරේ සහ එළැඹෙන වසරේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

එසේ ම අපට ලැබෙන අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නංවාගත යුතුයි. අප ආයෝජකයන් ගෙන්වා ගත යුතුයි වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ද සලසා දිය යුතුයි. ඒ සඳහා වරාය නගරය වැනි අලුත් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේ ම කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික දැනුම සමග ඉදිරි වසර 10දී අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එම වේගය අනුව තමයි අප සාර්ථක ද අසාර්ථක ද යන්න තීරණය වන්නේ.

ඒ වගේ ම රජයේ සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ට සහන ණය ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අවම වශයෙන් ඉන්ජිනේරුවන් 10,000ක්, වෛද්‍යවරුන් 7,500ක් වැනි පිරිසක් වසරකට මෙරට විශ්වවිද්‍යාල තුළින් බිහිවිය යුතුයි. ඒ වගේ ම තොරතුරු තාක්ෂණ

විෂයටද විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙම අවශ්‍යතා අඛණ්ඩව සපයාගත යුතුයි.

අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟා දීමටයි. ඒ නිසා පසුගිය වසරේ සිදු වූ දේ නැවත කිසිදා මේ රටේ සිදු නොවන ලෙස ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කිරීම අප සියලු දෙනාගේ වගකීම වෙනවා.

ඒ සඳහා රජය නව පියවර ගණනාවක් ගෙන තිබෙන බව කිව යුතුයි. ආයෝජන මණ්ඩලය සහ අපනයන මණ්ඩලය යන ආයතන වෙතින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැහැ. ඒ වෙනුවෙන් ආර්ථික කොමිසමක් පත්කර අදාළ බලතල කේන්ද්‍රගත කිරීමට කටයුතු කරනවා. එවිට ආයෝජන සඳහා එක් එක් අමාත්‍යාංශවලට ගොස් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ආයෝජකයන් හට එක ස්ථානයකින් සියලු කටයුතු සපුරාගත හැකියි.

මීට පෙර 1978දී ජේ.ආර්. ජයවර්ධන මහතා මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කර මහ කොළඹ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළේ ද ඒ ආකාරයට යි. ඒ වගේම ආයෝජන සඳහා අවශ්‍ය යටිතල පසුකම් සපයා දීමට වෙන ම මණ්ඩලයක් ඇති කිරීමටද අප බලාපොරොත්තු වෙනවා.

වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණයද ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම මාතලේ දිස්ත්‍රික්කයද සංචාරක කර්මාන්තය වෙනුවෙන් විශාල ලෙස දායක කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.

තව ද කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා කෘෂි නවීකරණ වැඩසටහනක් ඊළඟ මාස දෙක තුළදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. වී වගාවේ හෝ අනෙකුත් බෝග වගාවන් තුළ දැනට සිදුකෙරෙන නිෂ්පාදන ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිෂ්පාදන ඉහළ නංවාගත යුතුයි.

ඒ වගේ ම රටට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා තාක්ෂණ ප්‍රවර්ධන සභාවක් ඇති කිරීමටත්, රටට ඩිජිටල්කරණය ගෙන ඒමට ඩිජිටල් පරිවර්තන කොමිසම ඇති කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. රටේ සියලු ක්‍ෂේත්‍රයන්හි විශාල නවීකරණයක් එමගින් අපේක්ෂා කරන අතර 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ඇති කිරීම අපේ අරමුණ බව කිව යුතු යි.

  • මිතුන් ජයවර්ධන, උකුවෙල – ප්‍රියන්ත පොල්වත්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here