Home Local News Room : දුම්රියේ වහලය මත ගොස් අවසන් ගමන් ගිය සිසුවාගේ ඛේදාන්තය:...

News Room : දුම්රියේ වහලය මත ගොස් අවසන් ගමන් ගිය සිසුවාගේ ඛේදාන්තය: දෙමාපියන් කියන සංවේදී කතාව

2
0

“ස්ට්‍රයික් එකක් තියෙනවා කියල ආරංචි වෙලා මම යන්න එපා කියල ත් කිව්වා. ඒත් කලින් දවසේ ලයිසන් ගන්න ට්‍රයල් දෙන්න ගිය නිසා අද ටෙක් යන්න ම ඕන කියල පුතා කිව්වා. පුතා ඉගෙන ගන්න අතරෙ අපට බරක් වෙන්න බැහැ කියල සෙනසුරාදා ඉරිදා ගරාජ් එකක ත් වැඩ කළා,” යැයි හොරපේ දුම්රිය ස්ථානයේදී අද (සැප්. 12) අනතුරට ලක්ව මිය ගිය දිනිත් ඉඳුවරගේ මව වන නිරෝෂා ගුණසේකර (47) රාගම රෝහල් භූමියේදී ‘මව්බිම’ට පැවසුවා ය.

“වෙන දා පහ යි හතළිස් පහට යන කෝච්චියෙ යන පුතා පරක්කු වෙලා නිසා මේ කෝච්චියේ කොහොම හරි යන්න ඕන නිසා වහලේ යන්න ඇති,” යැයි ද ඇය කීවා ය.

රාගම රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනැවිත් තිබූ තම එක ම පුතුගේ නිසල සිරුර දැක වැළපෙමින් සිටි ඇය මෙසේ ද පැවසුවා ය.

“මම ගලහිටියාව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිනියක් හැටියට වැඩ කරනවා. අපට දරුවො හතර දෙනයි. මේ දෙවැනියා. අනෙක් තුන්දෙනා ම දුවලා. දරුවා ගම්පහ ස්ටේෂන් එකට ගියාට ත් පස්සේ මම කෝල් කරල කිව්වා යන්න එපා රේල්ලුව නැති වෙයි. කරදර යි නේ කියලා. එයා කලින් දවසේ ට්‍රයල් පෙන්නන්න ගියා. ඒ නිසා අද ත් නොගිහින් ඉන්න බැහැ කියල කොහොම හරි යනවා කිව්වා. අනේ මට මගේ එක ම පුතා නැති වුණා. කවුරු මොනව කිව්ව ත් මගෙ දරුවට ආයෙ පණ ලැබෙන්නේ නැහැ,” ඇය හඬා වැටුණා ය.

සිද්ධියෙන් මිය ගිය ගම්පහ ඔරුතොට පාරේ, මොරගොඩ පදිංචිව සිටි වෑවලගේ දොන් දිනිත් ඉඳුවර පෙරේරාගේ (19) මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේ කටයුතු සඳහා පැමිණ සිටි අවස්ථාවේ ‘මව්බිම’ට හමුවූ දිනිත්ගේ පියා වන වෑවලගේ දොන් ප්‍රියා සුගත් පෙරේරා (49) මෙසේ කීවේ ය.

“මම කම්කරුවෙකු ලෙස රැකියාව කරනවා. මගේ පුතා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියට (NAITA) අයත් ටෙක් එකේ ජලනල කාර්මික පාඨමාලාවක් හදාරනවා. එම පාඨමාලාව අවුරුදු හතරක එකක්. පුතා පළමු වසර අවසන් කළා පමණ යි. මම හැම දා ම පුතා ගම්පහ ස්ටේෂන් එකට ඇරලනවා. ඔහු යන්නේ සීසන් එකකින්. සීසන් එක ජර්මන් ටෙක් එකට යන නිසා සහන මිලකට ලැබෙනවා. වෙන ද වගේ ම මම පුතා ගම්පහ ස්ටේෂන් එකට ඇරලුවා.

වර්ජනයක් නිසා වෙන දා යන දුම්රිය ආවේ නැහැ. පහයි හතළිස් පහට දුම්රියපොළට ආවා. නමුත් හයයි හතළිස් පහ වන තුරු දුම්රියක් තිබුණේ නැහැ. දුම්රිය වර්ජනයක් තියෙනවා කියල ආරංචි වෙලා අම්මා පුතාට කතා කරල අද යන්න එපා ගෙදර එන්න කියල කිව්වා.එතකොට පුතා කිව්වා අම්මා මම ඊයෙ ත් ගියේ නැහැ. ඒ හින්ද අද යන්න ම ඕන කියලා. සල්ලිත් නෑ, බස් එකේ යන්න විධියකුත් නැහැ කියල පුතා කිව්වා. මම රුපියල් තුන්සියයකුත් දුන්නා.

හයයි හතළිස්පහට දුම්රියක් ආවා. දුම්රියේ පුතා නැගල තියෙන්නේ වහලේ. ඒකට නගින්න බැරි තරම් සෙනග ඉඳල තියෙනවා. දුම්රියපොළේත් විශාල පිරිසක් හිටියා. පුතා කොහොම හරි නැගල තියෙනවා.

හොරපේ දුම්රියපොළේ වේදිකාවේ වහලයේ වැදිල වැටිල මිය ගිය බව ත් හුණුපිටියට අරන් ගිය බව ත් මට හුණුපිටිය දුම්රියපොළෙන් දැනුම් දුන්නා. රාගම රෝහලට ඇවිත් මම දරුවාගේ සිරුර හඳුන ගත්තා. ” යැයි ඔහු සඳහන් කළේ ය.

රාගම දුම්රිය ආරක්ෂක අංශයේ එච්.එම්.පී.පී. හේරත් කියා සිටියේ, විශාල පිරිසක් දුම්රියට නැගීමට සිටි බව ය.

“දුම්රිය වර්ජනයක් තිබුණු නිසා එන දුම්රිය කිහිපයට නගින්න විශාල සෙනඟක් හිටියා. නුවරින් ආව දුම්රියේත් විශාල සෙනඟක් හිටියා. අපි ආරක්ෂක අංශය වහලයේ සිටි මගීන්ට එයින් බසින ලෙස දැනුම් දුන්නා. ඒත් වහලය මත සිටි මඟීන් අපටත් දොස් කිව්වා වර්ජනය ගැන. එහිදී මගීන් අතරින් උණුසුම් තත්ත්වයක් මතු වෙනවා වගේ පෙනුන නිසා අපි රාගම පොලිසිය ත් ගෙන්නුවා,” යැයි ඔහු කීවේ ය.

හොරපේ දුම්රිය ස්ථානායේ උපස්ථානාධිපති විරාජ් සංජය මෙසේ පැවසීය.

උදේ හතයි හතළිහට පමණ නුවර ඉඳන් එන දුම්රිය ආවා. වර්ජනය නිසා විශාල පිරිසක් හොරපේ දුම්රිය ස්ථානයේ ත් සිටියා. නුවර සිට පැමිණි දුම්රිය හොරපේ නවත්වන්නේ නැහැ. දුම්රියේ වහල මතත් මගීන් නැග එන හැටි ඈතදි ම දැක්කා. එහෙම ආපු කෙනෙකුගේ හිස වේදිකවේ වහලය රඳවා ඇති යකඩ බාර් එකේ කොනේ වැදී වැටී සිරුර ඇදී ගොස් තිබෙනවා. මිනිස්සු කෑගසා දුම්රිය නවත්වා ගත්තා. එම දුම්රියේ දමා ගෙන සිරුර හුණුපිටිය දුම්රිය ස්ථානයට ගෙන ගොස් තිබෙනවා.”

රාගම හදිසි මරණ පරීක්ෂක එස්.එස්.අයි. දිසානායක විසින් දිනිත්ගේ මරණය පිළිබඳ පරීක්ෂණය පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ රාගම අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ඒ. රෝෂිනී විසිනි.

දුම්රියෙන් වැටී හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් වූ හදිසි මරණයක් බව එහිදී මරණ පරීක්ෂකවරයා තීරණය කළේ ය.

  • රාගම – ටී. කොටින්කඩුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here