Home Sport News Room : ගවස්කාර්ට හා කෝලිට ප්‍රචාරක දැන්වීම් තහනමක්

News Room : ගවස්කාර්ට හා කෝලිට ප්‍රචාරක දැන්වීම් තහනමක්

0
0

ප්‍රවීණ විස්තර විචාරක සුනිල් ගවස්කාර්ට හා සුපිරි පිතිකරු විරාට් කෝලිට දුම්කොළ හා මත්ද්‍රව්‍ය නිෂ්පාදන ප්‍රචාරක දැන්වීම් තහනම් කිරීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එබැවින් මේ 22 දා ආරම්භවන අයිපීඑල් තරගාවලියේදී ඔවුන්ගේ දැන්වීම් තවදුරටත් දක්නට නොලැබේ.

එරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අතුල් ගෝයාල් මහතා අයිපීඑල් සභාපති අරුන් සිං ධුමාල් වෙත දැනුම්දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ විස්තර විචාරකයන්ට කිසිදු මත්ද්‍රව්‍යය නිෂ්පාදන ප්‍රචාරය කිරීමට නොහැකි වනු ඇති බවය.

එයට අමතරව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අයිපීඑල් තරගාවලියේදී මාර්ගෝපදේශ තුනක් හඳුන්වාදී ඇති අතර, ක්‍රීඩාංගණවල හෝ තරග විකාශන අතරතුර දුම්කොළ හෝ මත්ද්‍රව්‍ය වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය නොකිරීම, ක්‍රීඩා පිටිවල හෝ වෙනත් ස්ථානවල දුම්කොළ නිෂ්පාදන අලෙවි නොකිරීම හා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හෝ විචාරකයන්ට මෙවැනි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධවීම තහනම් කිරීම සඳහන් වේ.

ඉන්දියාව පුරා පිළිකා, ඇදුම සහ අධි රුධිර පීඩනය වැනි රෝග වේගයෙන් වැඩි වෙමින් පවතින හෙයින් මේ පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ඉන්දියාව මූලිකත්වය ගෙන තිබේ.

“දුම්කොළ ආශ්‍රිත රෝගවලින් සිදුවන මරණවලින් ඉන්දියාව ලෝකයේ දෙවැනි ස්ථානයේ සිටී” යනුවෙන් අයිපීඑල් බලධාරීන්ට යොමු කළ ලිපියේ දැක්වේ. එබැවින් එවැනි නිෂ්පාදන සඳහා වෙළෙඳ දැන්වීම් අයිපීඑල් වේදිකාවෙන් නතර කළ යුතු බවට අවධාරණය කොට ඇත.

කෙසේ වෙතත්, මේ තහනම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ අයිපීඑල් බලධාරීන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here