10
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිවුදින තරගාවලිය ආරම්භවූ ඊයේ ශතක රැස් කිරීමට කොළඹ කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සහ ගාල්ල කණ්ඩායමේ නිපුන් ධනංජය සමත් වූහ.
යාපනය කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන කොළඹ පිල පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 347ක් රැස් කර තිබිණි.
නවෝද් පරණවිතාන (39) සමඟ කොළඹ ඉනිමට සාර්ථක ආරම්භයක් දීමට අවිශ්ක ප්‍රනාන්දුට හැකිවූයේ මෙවර තරගාවලියේ පළමු ශතකලාභියා බවට පත්වෙමිනි. පන්දු 164කින් ලකුණු 144ක් රැස් කළ ඔහු හතරේ පහර 17කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කරගත් අතර, කවීන් බණ්ඩාර සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 172ක සබඳතාවක් ගොඩනැඟීමට ද සමත් විය. බණ්ඩාර ලකුණු 77කට දැවී ගිය අතර, නායක චරිත් අසලංක ලකුණු 51ක් රැස් කළේ පන්දු 90කිනි. කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 3කට සීමාවූ අතර, පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 4ක් සහ මුර්වින් අබිනාෂ් කඩුලු 2ක් දවා ගත්හ.
මේ අතර මහනුවර කණ්ඩායම සමඟ හම්බන්තොටදී ආරම්භවූ තරගයේදී නොදැවී ශතකයක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දෙන ගාලු ඉනිම ගොඩනැඟීමට නිපුන් ධනංජය සමත් විය. කඩුලු 4කට ලකුණු 336ක් රැස් කර තිබූ ගාලු ඉනිම ශතක සබඳතා දෙකකින් සවිමත් කළ නිපුන් පළමු දිනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 135ක් රැස් කර තිබුණේ පන්දු 261කදී හතරේ පහර 12ක් ද සමඟිනි.
ඕෂද ප්‍රනාන්දු සමඟ පළමු කඩුල්ලට ලකුණු 107ක් එක් කළ නිපුන් සිවුවැනි කඩුල්ලට සදීර සමරවික්‍රම සමඟින් ලකුණු 143ක සබඳතාවක් ගොඩනැඟුවේය. ඕෂද ලකුණු 57ක් සහ සදීර ලකුණු 78ක් ඉනිමට එක් කළ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 31කට සහ නායක පසිඳු සූරියබණ්ඩාර ලකුණු 6කට දැවී ගොස් තිබිණි.
ජාතික ක්‍රිකට් කණ්ඩායමට මේ දිනවල විවේකය හිමිව ඇති බැවින් එම ක්‍රීඩකයෝ ද මේ තරගාවලියට එක්ව සිටිති. ඒ අනුව ඊයේ ආරම්භ වූ මේ තරග ද්විත්වයේදී දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, ඕෂද ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ (ගාල්ල), අවිශ්ක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, දුෂාන් හේමන්ත, කසුන් රාජිත (කොළඹ) කණ්ඩායම්වලට අමතරව පැතුම් නිස්සංක, චමිඳු වික්‍රමසිංහ මහනුවර පිලටත්, ජනිත් ලියනගේ සමඟ ජෙෆ්රි වැන්ඩර්සේ යාපනය කණ්ඩායමටත් ක්‍රීඩා කරති .
මේ තරගවල දෙවැනි දිනය අදයි.
කොළඹ – යාපනය
කොළඹ පළමු ඉනිම – 374/7 (ඕවර 90) අවිශ්ක ප්‍රනාන්දු 144, කවින් බණ්ඩාර 77, චරිත් අසලංක 51, නවෝද් පරණවිතාන 39, දුෂාන් හේමන්ත නොදැවී 24 (ජෙෆ්රි වැන්ඩර්සේ 84/4, මුර්වින් අබිනාෂ් 93/2)
ගාල්ල – මහනුවර
ගාලු පළමු ඉනිම – 336/4 (ඕවර 88) නිපුන් ධනංජය නොදැවී 135, සදීර සමරවික්‍රම 78, ඕෂද ප්‍රනාන්දු 57, දිනේෂ් චන්දිමාල් 31, දුනිත් වෙල්ලාලගේ නොදැවී 19.