1
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ඉරිදා සාන්ත පීතර බැසිලිකාවේදී බැතිමතුන් හමුවේ පෙනී සිටියේ දින 38ක් නේවාසිකව ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවීමෙන් පසු මාස දෙකක කාලයක් විවේකීව ගත කරන ලෙසට වෛද්‍යවරුන් දුන් උපදෙස් නොසලකා හරිමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාස්කු ඉරිදා දේව මෙහෙයට රැස්වී සිටි 35,000කට අධික බැතිමතුන්ට ආශීර්වාද කිරීමට උන් වහන්සේ සාන්ත පීතර බැසිලිකාවේ සඳලුතලයේ පෙනී සිටි බවත්, වෛද්‍ය උපදෙස් මත අඛණ්ඩව භාවිත කළ යුතුව තිබූ ඔක්සිජන් සැපයීමේ නළය ඒ මොහොතේ ඉවත් කරමින් බැතිමතුන්ට ආශීර්වාද කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
රෝහලෙන් පිටවීමෙන් පසු ගත වූ සති දෙක ඇතුළතදී ද පාප් වහන්සේ සිය සුපුරුදු දෛනික ජීවිතය ගත කිරීමට කටයුතු කර ඇතැයි ද, අමුත්තන් මුණ ගැසීම අඛණ්ඩව සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වෛද්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍යව තිබු දින කිහිපයේ පාස්කුව උදා වූ බැවින් පාප් වහන්සේ අවිවේකීව සිටි බව ද වාර්තා වේ.
වෛද්‍ය වාර්තාව නිකුත් වෙයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය සිදුවූයේ හදිසි හෘදයාබාධයකින් බවට තහවුරු කරමින් වතිකානයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු පිළිබඳ අධ්යක්ෂ මණ්ඩලයේ වෛද්‍ය ඇන්ඩ්‍රියා ආර්කන්ජෙලි නිල වෛද්‍ය වාර්තාව නිකුත් කර ඇතැයි වතිකාන නිව්ස් පුවත් සේවය වාර්තා කළේය. පාප්වහන්සේගේ අභාවයට හේතුව රුධිරවාහිනි අවහිර වීමක් ලෙස හඳුනාගෙන ඇති අතර, පසුව උන් වහන්සේ කෝමා තත්ත්වයකට පත්වූ බවද එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව වතිකාන නිව්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
වතිකාන මාධ්‍ය කාර්යාලය පෙරේදා පස්වරුවේ ප්‍රසිද්ධියට පත් කළ පාප් වහන්සේගේ අභාවය සම්බන්ධ නිල වෛද්‍ය වාර්තාවට අනුව උන්වහන්සේට උග්‍ර ශ්වසන අපහසුතාව, ද්විත්ව නියුමෝනියාව, බ්‍රොන්කයිටීස් තත්ත්වයක් සහ අධිරුධිර පීඩනය මෙන්ම දෙවැනි කාණ්ඩයට අයත් දියවැඩියා රෝගී තත්ත්වයක් ද තිබූ බව වතිකාන නිව්ස් පුවත් සේවය සඳහන් කළේය.