13
“අනුර කුමාර දිසානායක ප්රමුඛ මේ මාලිමා රජය බලයට ගෙන ඒමට සමස්ත ක්‍රිස්තියානි භක්තිකයන් විශාල සහයෝගයක් දුන්නා. එයට හේතුව තමයි මේ වැලිතලයට යටවෙලා ගිය පාස්කු දා ප්‍රහාරයේ මහා මොළකරුවා කවුද කියන කාරණය දැන ගැනීමේ ලොකු පිපාසය සන්සිඳුවා ගැනීමට” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මැදව්චිය ආසන සංවිධායක රෝහණ බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ මැදවච්චිය නගරයේදී පෙරේදා (21) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.
“කාදිනල්තුමන්ට වගේම ක්‍රිස්තු බැතිමතුන්ට මේ අය බොරු පොරොන්දු දුන්නා. පාස්කු දා ප්‍රහාරය මුල් කර ගනිමින් එම භක්තිකයන්ගේ ඡන්ද ටික ගන්න බොරු කිවුවා. අදට අවුරුදු 06ක් සම්පූර්ණ වුණා මේ ප්‍රහාරය එල්ල වෙලා. මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් කළ එකම කණ්ඩායමත් සහයෝගය දෙන්නේ මාලිමා රජයටම. ඒ අය නැවත ඒ ස්ථානවලම ස්ථානගත කර තියෙන්නේ ආණ්ඩුවේ පිරිස්. ආණ්ඩුව මේක ඇත්තටම යටගහන්නේ නැත්තම් මෙයින් එහාට ගොස් මේ ජනතාවට සාධාරණය ඉටු කරන්න තිබුණා. හැබැයි ආණ්ඩුවට කිසිම දෙයක් කරන්න බැරි වුණා. දැන් පිල්ලෙයාන් පිටින් මේ පාස්කු දා ප්‍රහාරය යවන්න ආණ්ඩුව උත්සාහ දරනවා. පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ මහාචාර්යවරයකු අතුරුදන් වීමක් සම්බන්ධව. ඒ අයුරින් පිල්ලෙයාන් අත්අඩංගුවේ ඉන්න අතරේ ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා පිල්ලෙයාන්ගෙන් මේ වන විට පාස්කු දා ප්‍රහාරය පිළිබඳ වැදගත් තොරතුරු ගණනාවක් හෙළි වෙලා තියෙනවා කියලා. ඒ පිළිබඳ සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුණ කාරණාව තමයි පිල්ලෙයාන්ගෙන් පාස්කු දා ප්‍රහාරය පිළිබඳ වචනයකින්වත් ප්‍රශ්න කිරීමක් සිදුවී නොමැති බව. මේ ආණ්ඩුව බොරුව, වංචාව මුල්කර ගනිමින් ජනතාව තවමත් රවට්ටනවා. මේ අය ආණ්ඩුවක් විදිහට සත්භාවයෙන් මේ වැඩේ කරන්න අපොහොසත් වෙලා තියෙනවා. මේ අය පිල්ලෙයාන්ගෙන් විලි ලැජ්ජාව වහගන්න හැදුවා. එකත් බැරි වුණා. දැන් මෙතුවක් කාලයක් ජනතාවට ඉදිරිපත් නොකර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පාස්කු දා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සීඅයිඩී එකට යැවීම තමයි කළ එකම වික්‍රමාන්විතය ලෙස දකින්නේ. දැන් ඕක කළා කියලා පාස්කු දා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් සිදු වුණාද. මෙවැනි රැවටිලිකාර නොහැකියාවෙන් පෙළුණු ආණ්ඩුවක් ඉතිහාසයේ කවදාවත් අපි දැක නෑ.”
කැබිතිගොල්ලෑව සමූහ – එස්. ජී. උබේපාල