Home Politics News Room : අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවේ -මන්ත්‍රී නාමල් රාජපක්ෂ

News Room : අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවේ -මන්ත්‍රී නාමල් රාජපක්ෂ

0
0

මේ වන විට ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින උණුසුම් තත්ත්වය ගැන වත්මන් රජයට අවබෝධයක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හාලිඇළ ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයන් දිරිමත් කිරීම සඳහා සංවිධාන කරන ලද රැස්වීමක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“අද වන විට අපේ අසල්වැසි ඉන්දියාවත් පාකිස්තානයත් අතර යම් යම් කරුණු සම්බන්ධයෙන් උණුසුම් තත්ත්ව ඇතිව තිබෙනවා. මේ තත්ත්වයෙන් අපේ රටට සිදු වන බලපෑම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට කිසිම අවබෝධයක් නෑ. පහුගිය කාලයේ රජය ඉන්දියාවත් සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. අපි පුන පුනා කීවා, මේ ගිවිසුම ගැන තොරතුරු පාර්ලිමේන්තුවට දෙන්න, මහජනතාවට පෙන්වන්න කියලා. එතකොට මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා කීවේ ඉන්දීය ආණ්ඩුවෙන් අහන්නේ නැතිව මේ තොරතුරු දෙන්නෙ නෑ කියලයි. මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ ලංකාවේ ජනතාව. අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවේ. ඇමැතිතුමා එහෙම හිතාගෙන ඉන්නවාද කියන්න මම දන්නේ නෑ. දැන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ උණුසුම් තත්ත්වය වර්ධනය වන විට ආරක්ෂක ගිවිසුමේ තියෙන කොන්දේසි, වගන්ති අපේ රටට කොහොමද බලපාන්නේ කියලා ආණ්ඩුව මේ රටේ ජනතාව දැනුම්වත් කළ යුතුයි. අපි දන්නේ නෑ, එහි මොනවාද තියෙන්නේ කියලා. ඒ ගැන පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතුයි. අපිත් අවුරුදු තිහක යුද්ධයක් කර බැටකාපු අය. යුද්ධ දිනන්න තියෙන අමාරුව අපි දන්නවා. යුද්ධයේ තියෙන අමාරුවත් දන්නවා. යුද්ධය දිනුවට පස්සේ මුහුණ දෙන්න තියෙන අභියෝග ගැනත් දන්නවා. ඒ නිසා පරිසරය තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වුවහොත් කලාපයේ ආර්ථිකයට මෙන්ම අපේ රටේ ආර්ථිකයටත් බලපානවා. ආණ්ඩුව මේකත් දැනගෙන කටයුතු කළ යුතුයි.”

හාලිඇළ සමූහ ආර්. එම්. විජේරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here