1
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා හමුදාව අතර වෙඩි හුවමාරුව අඛණ්ඩව තුන්වැනි දිනයටත් ඊයේ සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාශ්මීරයේ පැහැල්ගාම් නිම්නය ආශ්‍රිතව පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ දෙරටේ දේශසීමාව වසා දැමීමට ඉන්දියාව පියවර ගත් බවත්, ඉන් අනතුරුව දෙරටේ දේශසීමාව ආසන්නයේ වෙඩි හුවමාරුව පැතිරී ගිය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මුස්ලිම් ජාතිකයන්ගේ නිජභූමියක් වන ඉන්දීය කාශ්මීරයේ රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ඉන්දීය රජයේ හමුදාව මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන් සෙවීම දිවා රාත්‍රී පුරා සිදුවන බව ද වාර්තා වේ. පෙරේදා ඉන්දීය හමුදාව ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවකුගේ නිවෙසක් පුපුරුවා හැර ඇතැයි ද, ඊට සහාය දුන් බවට සැක කරන තවත් පුද්ගලයන් 6 දෙනකු පදිංචිව සිටි නිවාස විනාශ කිරීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. දේශසීමා ගැටුම්වලින් මේ දක්වා කිසිදු ජීවිත හානියක් සිදුනොවූ බවට විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අතර, දේශසීමා ආසන්නයේ සිදුවන වෙඩි හුවමාරුව හේතුවෙන් අවට ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව දැඩි බියට පත්වී ඇතැයි වාර්තා වේ.