8
මැතිවරණයක් පැමිණ ඇති මේ මොහොතේ ජනතාවට ගමේ සහ නගරයේ බලය ගැන පැහැදිලි තීන්දුවක් ගතෙයුතුව තිබෙන බවත්, මේ තීන්දුව ගැනීමේදී අතිශයින්ම වැදගත් දෙයක් ලෙස ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවට වූ දේ ගැන සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. ්
“මේ වනවිට ජන සමාජය මිනීමරුවන්ගේ ග්‍රහණයට නතු වෙලා. මිලේච්ඡත්වය, සංවිධානාත්මක අපරාධ, මැර ක්‍රියාකාරකම් ආදිය සමාජය යටපත් කරගෙන තිබෙනවා. නිවෙසේදී, මහමඟදී, වැඩබිමේදී, උසාවියේ විනිසුරුවන් ඉදිරිපිටදී, දරුවන් මවුපියන් සහ කාන්තාවන් ඉදිරිපිටදී පවා වෙඩි තබා දමනවා. අප රට වෙඩි පිට වෙඩි වරුසා නිර්මාණය වන පාතාල කල්ලිවල ග්‍රහණයට ලක් වූ රටක් බවට පත් වෙලා.
රටේ නීතිය වල්බිහි වී, කැලෑ නීතිය ක්‍රියාත්මක වී නීතියේ ආධිපත්‍යය නැති වෙලා. නීතිය සහ සාමය ගැන රජයට ජාතික සැලසුමක් නෑ. මේ මිනීමැරුම් නිසා ජාතික ආරක්ෂාවට හානියක් නෑ කියලා රජය කියමින් යනවා. ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කළ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට පවා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුව තිබෙනවා.
රාජ්‍ය නායකයාගේ වගකීම රටේ පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කර නීතිය ක්‍රියාත්මක කර ජනතාවගේ ආරක්ෂාව සැලසීමයි. එය ජනාධිපතිවරයාගේ වගකීමයි. මේ ජනාධිපතිවරයා අතින් නීතියේ ආධිපත්‍යය නැතිවෙලා ගිහින්.
පොලීසිය සහ ආරක්ෂක අංශවලට අමතරව ගම් මට්ටමෙන් සිවිල් ආරක්ෂක කමිටු, ප්‍රජා ආරක්ෂක කමිටු ඇති කර ජනතා සහභාගිත්වයෙන් සෑම වසමක්ම ආරක්ෂා කළ හැකියි. පළාත් පාලන ආයතන හරහා ජනතා කේන්ද්‍රීයව පොලීසිය සහ ආරක්ෂක අංශ සමඟ කටයුතු කර නීතිය සහ සාමය ආරක්ෂා කළ හැකියි. මෙය නව වැඩපිළිවෙළක්. මේ හරහා පාතාල කල්ලි, ජනතාවගේ නායකත්වයෙන් මැඬපැවැත්විය හැකියි.
මැර කණ්ඩායම්, මැර කල්ලි, කප්පම් කණ්ඩායම්, ඝාතකයන් මර්දනය කරන්නට නව ක්‍රමවේද යොදාගත යුතුයි. සමාජයේ මේ කරන අපරාධ වළක්වන්න විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. සුපුරුදු ක්‍රමවේද පමණක් ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් නොවන නිසා අලුත් විදිහට සිතිය යුතුයි.
මේ වනවිට රජය බොරු රජයක් ලෙස ලේබල් වෙලා. බොරුව, ප්‍රෝඩාව, මුළාව ඇති රජයක් ලෙස ලේබල් වෙලා. සුබ නැකතින් රට අනුරට දීලා රටට වුණු දෙයක් නෑ. ‘පොහොසත් රටක්-ලස්සන ජිවිතයක්’ ඇති කරනවා කිව්වත් ප්‍රතිපත්ති මාලාවේ ඉදිරිපත් කළ එකදු පොරොන්දුවක්වත් ක්‍රියාත්මක කර නෑ.
පැය 24ම බොරුව විතරයි. බඩු මිල අඩු කරනවා කිව්වත් හාල්, පොල්, කිරි පිටි පවා ඉහළ ගිහින්. අත්‍යවශ්‍ය ආහාර සහ පාසල් උපකරණවලට ගසා ඇති වැට් ඉවත් කරනවා කිව්වත් එය වුණේ නෑ. විදුලි බිල 33%කින් මෙන්ම ඉන්ධන මිල ද අඩු කරනවා කිව්වත් ඒ කිසිවක් සිදු වුණේ නෑ. ගොවියාට පොහොර සහනාධාරය නෑ. 35,000ක් රැකියාවිරහිත උපාධිධාරීන්ට පළමු අය-වැයෙන්ම රැකියා දෙනවා කිව්වත් එයත් නෑ. ජනතාවගේ ප්‍රශ්න විසඳීම එක පෑන් පාරින් කරනවා කිව්වත් කිසිදු ප්‍රශ්නයක් විසඳා නෑ.
දැන් එළිපිට බොරු කියන්නේ මේ රජය ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ රජය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ලියූ ලියුමක් නිසා යැයි නියෝජ්‍ය ඇමැතිවරයකු කියන විට වෙනමම දූත කණ්ඩායමක් අපේ රටින් ගොස් සාකච්ඡා අවසන් කර ඇති බවටත්, ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් කළේ නෑ. ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට ඕන නිවේදනය නම් නිකුත් කර කර තිබෙනවා. මොවුන් මහ දවල් එළිපිට බොරු පිට බොරු කියමින් යනවා.
බොරු පිට බොරු කියා ඒවා ජනතාව ඉදිරියේ අනාවරණය වීමෙන් පසු රජයේ අවසාන තුරුම්පුව ලෙස මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන දෙනවා කියා රවටනවා. ජනාධිපතිවරයාට මේ පනත් ගැනවත් අවබෝධයක් නෑ. ජනාධිපතිවරයා යනු රටේම නායකයා වුවත් මේ ජනාධිපතිවරයා මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ පමණක් නායකයා වී පක්ෂග්‍රාහී ප්‍රකාශ නිකුත් කරනවා. සමගි ජන බලවේගය විපක්ෂයේ සිට වැඩ කළා සේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන තිබුණත් නැතත් සමගි ජන බලවේගය ජය ගන්නා පළාත් පාලන ආයතනවලට වැඩ කළ හැකියි. ජනතාව අපේක්ෂා කරන සේවාවට වඩා ඉහළ සේවාවක් කිරීමේ වගකීම භාර ගන්නවා.”