ඓතිහාසික දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පසුගිය වසරේ සහභාගී වූ කාවඩි නර්තන කණ්ඩායම් 45 ටම මෙවරද නර්තන ඉදිරිපත් කිරීමට අවසර දීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල තීරණය කර තිබේ.
ඊයේ (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළුව, එම අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන පිරිස සහ අනෙකුත් අදාළ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ආරක්ෂිත හේතූන් මත පදනම්ව මෙවර පෙරහැරේ කාවඩි අංගය අත්හිටුවීමට පොලිසිය මීට පෙර නිර්දේශ කර තිබූ අතර, ඊයේ පැවැති සාකච්ඡාවෙන් පසුව එම තීරණය වෙනස් කර අවසර ලබාදීමට කටයුතු කෙරිණි.
එසේම, අද (28) පැවැත්වීමට නියමිත පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් අමතර පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් ද යෙදවීමට බලධාරීන් මෙහිදී තීරණය කර ඇත.
මේ පුවත තව අයට බලන්න