එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙසේද ප්‍රකාශ කළේය.
“කවුරු ජනාධිපති ධුරයට පත් වුවත් බැනුම් ඇසීමට සිදුවීම සාමාන්‍ය දෙයක්. අපේ රටේ ජනගහනය කෝටි දෙකයි තිස් ලක්ෂයක් පමණ වෙනවා. ඒ අතර විවිධ අදහස් ඇති, උගත් මෙන්ම නූගත් අයත් සිටිනවා. ඒ නිසා එල්ල වන විවිධ මතිමතාන්තරවලට අප මුහුණ දිය යුතුයි. එවැනි තත්ත්වයන් මධ්‍යයේ වුවත් අප අදටත් මහජනතාව සමඟ සුහදව, සිනාසෙමින් සාකච්ඡා කරමින් ජීවත් වෙනවා.
මම දේශපාලන ක්ෂේත්‍රය තුළ අපරාජිත චරිතයක්. පොළොන්නරුවේ ආදරණීය ජනතාවගේ කැපවීම නිසා මාව වසර තිස්පහක් පුරා අඛණ්ඩව පාර්ලිමේන්තුවට තේරී පත්කර යැව්වා. ඉන් අනතුරුව රටේ ජනාධිපතිවරයා ලෙසත් පත් කර ගත්තා. එම ධුර කාලය තුළ මම සුවිශාල වැඩකොටසක් ඉටු කළා. විශේෂයෙන්ම ‘පිබිදෙමු පොළොන්නරුව’ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පමණක් මේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි හයදහසක මුදලක් වෙන් කර ඒ සියලු වැඩකටයුතු නිම කිරීමට මට හැකි වුණා.
නමුත් භෞතික සම්පත් කොතෙක් දියුණු කළත් මිනිසුන් ඉන් පමණක් සැනසීමට පත්වන්නේ නැහැ. වර්තමානයේ බහුතරයක් දෙනා මුදල් පසුපසම හඹායන තත්ත්වයක් දක්නට ලැබෙනවා. මේ අධික මුදල් තරගකාරීත්වය හේතුවෙන් මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම බෙහෙවින් පිරිහී ගොස් තිබෙනවා. අප කොතරම් ධනය සෙව්වත්, මේ හැමදේම දමා දිනෙක මියයන පිරිසක් බව බොහෝ දෙනෙකුට අමතක වෙලා. අප දිනෙක මියයන බව නිරන්තරයෙන් සිහිපත් කරන්නේ නම් සමාජයේ පවතින ගැටලු රැසක් අවම කරගත හැකියි.
මේ වන විට රටේ ජනගහනයෙන් සිල්වත් ප්‍රතිපත්තිගරුක ජීවිත ගත කරන්නේ සියයට විස්සක වැනි සුළු පිරිසක් පමණයි. නවීන තාක්ෂණික ලෝකය වත්මන් තරුණ පරපුර සම්පූර්ණයෙන්ම වෙනස්ම දිශාවකට ඇදගෙන යමින් පවතිනවා. කෘත්‍රිම බුද්ධිය (AI) වැනි දියුණු තාක්ෂණික මෙවලම් ඔස්සේ බුදු දහම, අපේ සභ්‍යත්වය ඇතුළු ඕනෑම වටිනා දෙයක් ගවේෂණය කිරීමට අවස්ථාව තිබුණත්, වත්මන් තරුණ පරපුර එය යහපත් දේ සඳහා පරිහරණය කරන්නේ නැහැ. ජංගම දුරකථනයක් අතට ගත් සැනින් අපේ දරුවන් යොමුවන්නේ විනාශකාරී සහ අයහපත් දේ වෙතයි. මේ තාක්ෂණික අවභාවිතය නිසා සමස්ත සමාජයම දැඩි ලෙස පිරිහීමට ලක්ව තිබෙනවා.
එමෙන්ම ලෝකයේ කිසිදු රටක නායකයෙක් ස්වභාවික සම්පත් විනාශ වීම පිළිබඳව අවංකව සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් වර්තමාන ගෝලීය මාධ්‍ය ප්‍රචාරණයන් සහ ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික විපර්යාසයත් සමඟ ලෝකය පුරාම ලොකු බියක් නිර්මාණය වී තිබෙනවා. මෙහි බලපෑම ශ්‍රී ලංකාවටත් එල්ල වෙමින් පවතිනවා. රටේ එක් ප්‍රදේශයකට අධික වර්ෂාව ලැබෙද්දී, තවත් ප්‍රදේශයකට දැඩි නියඟයක් පවතින්නේ මේ නිසයි. ගෝලීය වශයෙන් සිදුවන මෙම දේශගුණික විපර්යාසයන්ට ප්‍රධානතම හේතුව ලෝක බලවතුන් විසින් සිදුකරන මනුෂ්‍ය ඝාතන සහ විනාශකාරී යුද්ධයි. එම යුදකාමී නායකයන්ට අවශ්‍ය වී ඇත්තේ ලේ වැගිරීම් දැකීමට පමණයි.
ඇමරිකාව වැනි දියුණු රටවල් පවා අද වන විට දරුණු ලැව්ගිනි සහ මහා ගංවතුර උවදුරුවලින් බැටකන අයුරු අප මාධ්‍ය මඟින් දකිනවා. මේ සියල්ල ලෝකයේ සිදුවන යුදමය තත්ත්වයන්හි සෘජු ප්‍රතිඵලයි. ඉදිරියේදී මේ ‘එල් නිනෝ’ තත්ත්වය අපේ රටට දැඩි ලෙස බලපෑවොත් අප ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව බරපතළ ගැටලුවක් මතු වෙනවා. එබැවින් එළඹෙන ඕනෑම දේශගුණික අභියෝගයකට මුහුණ දීම සඳහා අප දැන් සිටම නිසි පරිදි සූදානම් විය යුතුයි.”







