Home Local News Room : මහවලිය දරුණුයි.. පේරාදෙණිය සරසවිය වසා දමයි.. ~

News Room : මහවලිය දරුණුයි.. පේරාදෙණිය සරසවිය වසා දමයි.. ~

1
0
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවනු ලැබුවද විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක් ද පාලනාධිකාරිය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, තම නිවෙස් බලා ආරක්ෂිතව ගමන් කළ හැකි සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් බැහැරව යාමට අවසර හිමිවන අතර, ගමනාගමන දුෂ්කරතා පවතින සිසුන්ට විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටීමට පහසුකම් සලසා තිබේ.

කෙසේ වෙතත්, අවදානම් තත්ත්වයක පවතින “සරසවි මැදුර” නේවාසිකාගාරය හැර අනෙකුත් නේවාසිකාගාරවල රැඳී සිටීමට සිසුන්ට අවස්ථාව ඇති බවත්, ඒ සඳහා නේවාසිකාගාර පාලනාධිකාරිය දැනුවත් කළ යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

පෞද්ගලික නේවාසික ස්ථානවල රැඳී සිටින සිසුන් අතරින් අවදානම් සහිත ස්ථානවල සිටින පිරිස් වෙතොත්, ඔවුන්ට ද ආරක්ෂාව පතා විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත පැමිණිය හැකි බව උපකුලපතිවරයා දන්වා සිටියි. එවැනි සිසුන් භාරගෙන අවශ්‍ය පහසුකම් සලසන ලෙස නේවාසිකාගාර පාලනාධිකාරියට උපදෙස් දී ඇති අතර, කිසිදු සිසුවෙකුට නේවාසිකාගාරවලින් බැහැර වන ලෙස බලපෑම් නොකරන බව ද පාලනාධිකාරිය අවධාරණය කරයි.

කාලගුණික තත්ත්වය යහපත් වන තෙක් සිය ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතර, විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කරන දිනය ඉදිරියේදී මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here