Home Local News Room : ‘විනිසුරු වයස වැඩි නොකරනු..’- ලෝක විනිසුරු සංගමයෙන් ලංකාවට රතු...

News Room : ‘විනිසුරු වයස වැඩි නොකරනු..’- ලෝක විනිසුරු සංගමයෙන් ලංකාවට රතු එලියක්… ~

1
0
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය (IAJ) සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි. රෝමයේ පිහිටි එම සංගමයේ මූලස්ථානය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයක මේ බව සඳහන් වේ.

ලොව පුරා මහාද්වීප පහක රටවල් 93ක විනිසුරු සංගම් නියෝජනය කරන විශාලතම සහ කීර්තිමත් සංවිධානය වන IAJ ආයතනය පවසන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම තම සංගමයේ මූලික අරමුණ බවයි.

ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති මෙම නව නීතිමය සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් විය හැකි බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ඇතුළු පාර්ශව රැසක් මතු කර ඇති බරපතල ගැටලු සමඟ තමන් ද එකඟ වන බව ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය පවසයි.

විශේෂයෙන්ම, මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් හදිසියේ සහ අත්තනෝමතික ලෙස සිදු නොකර, විධිමත් ප්‍රතිපත්තිමය සහ උපදේශන ක්‍රියාවලියක් හරහා සිදු කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.

එසේ නොමැති වීම අධිකරණයේ ස්වාධීනත්වය පළුදු වීමට හේතු වන බව ඔවුන්ගේ මතයයි.

එසේම, යම් නිශ්චිත විනිසුරුවරයෙකුට හෝ පිරිසකට පෞද්ගලිකව වාසි සැලසීමේ අරමුණින් මෙම සංශෝධනය ගෙන එන බවට දැනුවත් නිරීක්ෂකයින් තුළ පවතින මතය පිළිබඳව ද සංගමය අවධානය යොමු කර ඇත.

රජයේ සැබෑ අභිලාෂය කුමක් වුවත්, එවැනි හැඟීමක් ජනිත වීම පවා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමට හේතු වන බව IAJ නිවේදනයේ සඳහන් වේ.

එබැවින්, අධිකරණයේ ස්වාධීනත්වය සහ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් මෙම යෝජිත සංශෝධනය පිළිබඳව නැවත සලකා බලන ලෙස ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ පවතින මෙම තත්ත්වය පිළිබඳව තමන් ඉදිරියටත් සමීපව නිරීක්ෂණය කරන බව ද එම සංගමය වැඩිදුරටත් දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here