ඔහු මේ බව ප්‍රකාශ කලේ පොළොන්නරුව දියබෙදුම කොට්ඨාසයේ පැවති රැස්වීමක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
අද අභියෝගාත්මක කාලයක්. විශේෂයෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරියේ සහ මේ ආසන තුනේ ජීවත්වන ගොවි ජනතාවට.
ආණ්ඩුව බලයට ආවේ අසීමිත බලාපොරොත්තු දීලා. අසීමිත බලාපොරොත්තු වගේම ඒ සියලුම බලාපොරොත්තු අද දැවැන්ත බොරුවක් බවට පත් කරලා තියෙනවා. එදා රටේ ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා බලයට ආපු ආණ්ඩුව, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිශ්චිතවම සඳහන් කරපු කාරණා අතර ප්‍රධානතම කාරණයක් වුණේ දේශීය ගොවියාගේ අස්වැන්නට හොඳ මිලක් දෙනවා කියන කාරණය.
වර්තමාන ජනාධිපතිවරයා හැම වේදිකාවකම, වර්තමාන ජනාධිපතිවරයා හැම ගමකම එදා සඳහන් කර හිටියේ ගොවියාට හොඳ මිලක් දෙනවා කියලා. අද ගොවියාට හොඳ මිලක් දෙන එක කෙසේ වෙතත්, වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය සහ ආණ්ඩුවේ ගමනාන්තය අනුව මුදලාලිලාට නම් මිලක් ලැබෙනවා.
ගොවියා අසරණ වෙලා. වී මිල අඩු වෙනවා. හාල් මිල එන්න එන්න වැඩි වෙනවා. වී මිල අඩුයි. මේ වී මිල අඩුවීමට සාපේක්ෂව හාල් මිල අඩු වෙලා නෑ රටේ. ගොයම් කැපෙන කාලෙට හාල් පිටරටින් ගේනවා. ජනාධිපතිවරයා එදා මින්නේරියට ඇවිල්ලා ගොවියාට හොඳ මිලක් දෙනවා කියලා කිව්වේ මේ පිටරට වවන ගොවියාටද? නැත්නම් ලංකාවේ ගොවියාටද කියන ප්‍රශ්නය අද අහන්න වෙනවා.
ගොයම් කැපෙන කාලෙට පිටින් හාල් ගේන්නේ මොන ආණ්ඩුවද අපෙ හාමුදුරුවනේ? ඔය අද පිටින් හාල් ගෙනැල්ලා දේශීය ගොවියාගේ ආර්ථිකය කඩන් වට්ටලා තියෙනවා. පොහොර සහන දෙනවා කියලා ආණ්ඩුව පොරොන්දු වුණා. දැන් පාර්ලිමේන්තුවේ ඇහුවත් කියනවා දෙනවා කියලා.
පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනාට අනුව මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් නෑ. ඒ 159 දෙනා කතා කරන්නේ මේ රටේ ගොවි ජනතාවට ප්‍රශ්නයක් නෑ.
පොහොර ලැබිලා, වී වලට අසීමිත මිලක් ඇවිල්ලා, මේ ආණ්ඩුව කියන විදියට. හාල් මිල අඩු වෙලා.එහෙම එකක් ගමේ නෑ. හැබැයි ගොවි ජනතාව පාරට බැස්සාම මොකක්ද කියන්නේ? කසිප්පුකාරයෝ ඇවිල්ලා උද්ඝෝෂණය කරනවයි කියලා. කවුද මේ අහන්නේ?
හැබැයි ඉතින් අද ගොවියා ගැන ඔවුන්ගේ මතය දරන්නේ ඒක. ඔවුන් ගොවියා ගැන පමණක් නෙවෙයි නීතිඥවරු ගැනත් එහෙමයි. වෛද්‍යවරු ගැනත් එහෙමයි. සමස්ත මේ රටේ වෘත්තිකයන් විනාශ කරන්න ඔවුන් බලයට ඇවිල්ලා ඉන්නේ. අර 88/89 බස් ගිනි තියලා, ජීවිත නැති කරලා, වීගොඩවල් ගිනි තියලා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා රාජ්‍ය බිඳවට්ටන්න උත්සාහ කරා. දීලා මරපන් කියලා. එහෙමයි ඒ අයගේ දේශපාලනය කළේ.
හැබැයි එදා ඔවුන්ට මිනි මරලා, ගෙවල් ගිනි තියලා, රට විනාශ කරලා රාජ්‍ය වට්ටගන්න බැරි වෙච්ච ජේවීපී එක අද ජනතා ඡන්දයෙන් බලයට ඇවිල්ලා රාජ්‍ය වට්ටනවා. ජනතා ඡන්දයෙන් ඇවිල්ලා රාජ්‍ය වට්ටනවා.
ඔබ දකින්න ඇති පහුගිය දිනෙක නීතිඥ සංගමය ගිහිල්ලා හම්බවෙනවා ජනාධිපතිවරයාව. මාධ්‍යයට යනවා ජනාධිපති කියන කෑල්ල විතරක්. බලනකොට ජනාධිපති තමන් එක්කම සාකච්ඡා කරලා තියෙන්නේ. නීතිඥ සංගමයේ අදහස් යන්නේ නෑ. ඒකෙ ජනාධිපතිවරයා කියනවා එයා යන්න ලෑස්තියිලු. අර පාර්ලිමේන්තුවේ ඉන්න 159 අවුරුදු 20ක් ඉන්න බලාගෙන ඉන්නේ. අරයා යන්න ලෑස්තිත් වෙලා දැන්. ඇහුම්කන්දෙන්නේ නෑ.
ගොවියාගෙන් පටන් ගත්තාම, ධීවරයාගෙන් පටන් ගත්තාම, රටේ ආයෝජකයා දක්වා, රටේ ගමේ ග්‍රාම සේවක මහත්තයාගෙන් පටන් ගත්තාම, සමෘද්ධි නිලධාරියා, සංවර්ධන නිලධාරියාගෙන් පටන් ගත්තාම, රටේ ඉහළ පෙළේ නිලධාරීන් දක්වා, ව්‍යාපාරිකයෝ දක්වා, නීතිඥවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ දක්වා ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නෑ.
අත්තනෝමතික තීන්දු තීරණ ගන්නේ. ඉතිහාසයේ පහළ වෙච්ච ජනතාවට ඇහුම්කන් නොදෙන ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන පාලකයෙක් සහ ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව අද පත් වෙලා තියෙනවා. අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන. අද රණවිරුවෝ, රණවිරු සංවිධානයේ සහෝදරයො ඉන්නවා.
ඔබ අද මේ ආබාධිත තත්වයට ලක් වෙලා තියෙන්නේ රට වෙනුවෙන් සටන් කරලා. එක පැත්තකින් බුද්ධි අංශ ප්‍රධානියා හිරේ දාලා. චෝදනාවක් නෑ. ඇහුවාම කියනවා පාස්කු ප්‍රහාරය කියලා.
පාස්කු ප්‍රහාරයේ ඔවුන්ගේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයින්ගේ ළමයි දෙන්නා හිටියේ. ඕක හතර වටේ දුවන්න ඕනේ නෑ මහ මොළකරයා හොයන්න. ජාතික ලැයිස්තුවේ දාපු කෙනාගෙන් ඇහුවා නම් පුතාලා ඇයි කරගත්තේ කියලා කියනවනේ. තමන්ගේ ජාතික ලැයිස්තුවේ මනුස්සයාගෙන් අහන්නේ නැතුව රටේ ලෝකයෙන් අහනවා.
අරයා සම්බන්ධයි, මෙයා සම්බන්ධයි. තමන්ගේ ජාතික ලැයිස්තුවේ හිටපු කෙනාගෙන් ඇහුවා නම් ඇයි පුතාලා දෙන්නා මෙහෙම වැඩක් කරේ, කාගේ හරි වුවමනාවටද, කාටද වාසිය, කාගේ අවශ්‍යතාවය මතද කියලා ඔහු කියයි. හැබැයි ඔහුගෙන් අහන්නේ නෑ. ඔහුව නිදහස් කරලා, දේපළ ටිකත් ආයේ දීලා, හමුදාවේ බුද්ධි අංශ තොරතුරු සපයපු කෙනා ඇතුලට දාලා. ෆයිල් එක යට ගහන් හිටපු අය තනතුරුවල දාලා.
අද ආණ්ඩුවේ සම්පූර්ණ හැසිරීම, මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට ප්‍රශ්න කතා කරපුවාම, ඒක ගොවියෙක්ද, ධීවරයෙක්ද, කම්කරුවෙක්ද, නීතිඥවරයෙක්ද, වෛද්‍යවරයෙක්ද, දේශපාලඥයෙක්ද කියලා නෑ, ආණ්ඩුවේ මර්දනය පාවිච්චි කරනවා. ආණ්ඩුවේ මර්දනය පාවිච්චි කරනවා.
අද ගොවි මහත්තුරුන්ට වී ටික විකුණගන්න බෑ. මං අනුරාධපුරේ ගිහිල්ලා ගොවියෝ හම්බවුණාම, අද මේ රැස්වීමට ඇවිත් ඉන්න ගොවි මහත්තුරු දන්නවා, කී වතාවක් වී අරන් යනවද අද විකුණන්න විදියක් නැතුව, මිලක් ලැබෙන්නේ නෑ. ගමන් වියදම් ටික පියවා ගන්න බෑ අපේ අඩු ගානේ. ගමන් වියදම් පියවා ගන්න බෑ.
ඒ අතරේ ආණ්ඩුව ලෑස්ති වෙනවා ආර්ථික මධ්‍යස්ථාන ටිකත් විකුණලා දාන්න. ආර්ථික මධ්‍යස්ථානත් විකුණලා දාන්න. ආණ්ඩුව හිතනවා මේ රටේ සියලු දේපළ විකුණලා, විනාශ කරලා දැම්මාම, මේ රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය වට්ටලා, ගමේ අම්මා තාත්තා මේ රටේ තරුණයාව කුඹුරෙන්, හේනෙන්, පැලෙන් ඈත් කරාම, තරුණයාව ධීවර කර්මාන්තයෙන් ඈත් කරාම, නීතිඥවරුන්ගේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට කෙළෙසෙන විදියට ආණ්ඩුව තීන්දු තීරණ ගත්තාම, වෛද්‍යවරයා කෙරෙහි තියෙන ගමේ ගෞරවය, විශ්වාසය බින්දාම ඔවුන්ට ලේසියෙන් ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්, රටේ ජනතාවගේ, මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය බිඳවට්ටලා, ව්‍යවසායකයෝ, වෘත්තිකයෝ බිඳවට්ටලා, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා.
අද අපි ගම්වලට යනකොට, ගමේ අපිට ඡන්දය දීපු, නොදීපු විශාල පිරිසක් ඒකරාශී වෙනවා. ඒ මේ ආණ්ඩුවේ බොරුව, වංචාව, දූෂණය, මර්දනය අද ජනතාව තේරුම් ගන්න අරන් ඉන්නවා.
අපි දැක්කා පහුගිය දිනෙක අපේ පක්ෂයේ මහ ලේකම්වරයා, පොලිස්පතිවරයා බය ගැන්නුවා කියලා රක්ෂිත බන්ධනාගාරගත කරන්න උත්සාහ කරා. අධිකරණයෙන් ඇප ලැබුණා. පොලිස්පතිවරයා බය වෙලාද නැද්ද කියන්න මං දන්නේ නෑ. ඒක පොලිස්පතිවරයාගෙන්ම තමයි අහන්න ඕනේ, පොලිසියෙන් ගිහින් තියෙන්නේ. හැබැයි ජනාධිපතිවරයාගේ හිත රිදුනොත්, පොලිස්පතිවරයා බය වුණොත්, හිත රිදෙන්න හේතුව, හිත රිදෙන්න කතාවක් කියන්න හේතුව හොයන්නේ නෑ. පොලිස්පතිවරයා බය වෙන්න ඕනේ ඇයි කියලා හොයන්නේ නෑ. හැබැයි ගිහිල්ලා රක්ෂිත බන්ධනාගාරගත කරන්න උත්සාහ කරනවා පොලිසිය පාවිච්චි කරලා. පොලිසිය පාවිච්චි කරලා.
හැබැයි කන්ටේනර් 323ක් වරායෙන් පැන්නුවා, ජනාධිපතිතුමාගේ හිත රිදුනේ නෑ. වරායෙන් කුඩු කන්ටේනර් දෙකක් පැන්නුවා, පොලිස්පතිතුමා බය වුණේ නෑ. බාල ගල්අඟුරු නැවක් දෙකක් නෙවෙයි, නැව් 15ක් ගෙනාවා. විදුලි බිල වැඩි කරන්න වුණා, තෙල් මිල වැඩි කරන්න වුණා, ජනාධිපතිතුමාගේ හිත රිදුනේ නෑනේ? එහෙම හිත රිදිලා අපි දැක්කේ නෑ.
හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 1,20,000ක් පිටරටින් ගෙනාවා. ගොවියා අසරණ වුණා, ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ හිත රිදුනේ නෑනේ? අපි දැක්කේ නෑනේ ජනාධිපතිතුමා කනගාටුවෙන් කතා කරනවා? එහෙම හිත රිදුනේ නෑ.
මුදල් අමාත්‍යාංශයේ ගිණුමෙන් වැරදි ගිණුමකට ඩොලර් මිලියන දෙකහමාරක්, කෝටි 80ක් 90ක් වැරදි ගිණුමකට දානවා. දාලා කියනවා හැකර් කෙනෙක් පැනලා, හැකර් මේක ඉස්සුවා, අනේ දැන් කරන්න විදියක් නෑ, බදු මුදල්වලින් ජනතාවගේ බදු වැඩි කරලා මේක අපි ගමු කියලා. ආණ්ඩුවේ කාගෙවත් හිත රිදුනේ නෑ.
උපාධිධාරීන්ගේ රක්ෂාව නැති වෙනවා. කර්මාන්ත වැහෙනවා. මහා පරිමාණ ආයෝජකයෝ ලංකාවෙන් පිටවෙනවා. ආණ්ඩුවේ කිසි කෙනෙක්ගේ හිත රිදිලා නෑනේ.
රණවිරුවෝ දඩයම් කරනවා. මහා සංඝරත්නය අපහාස කරනවා. අඩු ගානේ ආණ්ඩුවේ එකෙක්ගේ හිත රිදුණාද? 159යි ජනාධිපතිවරයයි ඔක්කොම ඕනේ නෑ, එක්කෙනෙක්ගේ හිත රිදෙන්නකෝ හාමුදුරුවන්ට අපහාස කරනකොට. නෑ.
හැබැයි ගොවියා පාරට බැහැලා ඇත්ත කතා කරාම, ගොවියා කසිප්පුකාරයා. නීතිඥවරු අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කතා කරාම, ඔය දේශපාලන ඩීල් එකක්. වෛද්‍යවරු තමන්ගේ වෘත්තිය පිළිබඳව, ඉස්පිරිතාලේ බෙහෙත් නෑ කියලා, පහසුකම් නෑ කියලා කතා කරාම, ඒක අහෝසි. දේශපාලන න්‍යාය.
රටේ ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ පිටත පෙන්නුවාම, හොරකම් වහගන්නලු.
ඒ හින්දා අපි ජනාධිපතිවරයාටත් කියන්නේ, කරුණාකරලා මේ ළාමක වැඩ කරන්න එපා. බාල වැඩ කරන්න එපා. කරුණාකරලා බාල වැඩ කරන්න එපා ජනාධිපතිතුමා.
ඔයාගේ හිත රිදෙන ඒවා ඇති. ඒවා මේ රටේ මිනිස්සු පලි නෑ. ඔයාගේ හිත රිදෙන එකට බෙහෙත් හොයාගන්න, ක්‍රමවේදයක් හොයාගන්න, පාලනය කරන්න. හැබැයි ජනතාවගේ හිත රිදෙන එක වලක්වන්නත් වැඩ කරන්න. ජනතාවගේ හිත රිද්දන්නේ නැතුව වැඩ කරන්න.
අද ජනාධිපතිවරයායි ආණ්ඩුවයි තමන්ගේ හිත සන්සුන් කරගන්න, ජනතාවගේ හිත රිද්දලා තමන්ගේ දේශපාලන භූමිකාව අරන් යන්න උත්සාහ කරනවා.
අපි ගම්වලට යනකොට, රටේ ජනතාව අපිට මුහුණගැහෙනකොට, ඒ අම්මලා කතා කරන්නේ ඒ ගැන. අපි ඔබෙන් ඉල්ලන්නේ, අපි ගම් මට්ටමේ ඒකරාශී වෙමු. මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන්, මහ පොළවේ පය ගහලා බත සපයන, මේ රටේ දෙවුන්දරින් පටන් ගත්තාම පේදුරුතුඩුවට යනකම්, මේ රටේ ජීවත්වෙන හැම පුරවැසියාටම කන්න දෙන, දරුවන්ගේ පෝෂණය ආරක්ෂා කරන, මහ පොළව එක්ක දේශගුණය එක්ක පොරබදලා, බෝ අමාරුවෙන් ජීවත්වෙන ගොවි ජනතාව වෙනුවෙන් අපි ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවයි කියන එකත් මගේ ආදරණීය අම්මේ තාත්තේ අපි ඔබතුමුන්නාන්සේලාට මතක් කරනවා. අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා.
ඔබ වවන්න ඕනේ. ඔබ වැව්වොත් තමයි මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන්. පිටින් ගෙනැල්ලා කන්න දෙනවා කියන එක කියන්න ලේසියි. සමහර විට කරන අයට ලාභයත් වැඩි ඇති. හැබැයි ඒක මේ රටේ ගොවි ජනතාවටත්, මේ රටේ ජීවත්වෙන පුරවැසියාටත්, මේ මහ පොළවටත් කරන අසාධාරණයක්. අපි ගොඩනැගිලා තියෙන අපේ සංස්කෘතියට කරන අසාධාරණයක්.
වැවක්, දාගැබක්, ගමක්, පන්සලක් කේන්ද්‍ර කරගෙන හැදිච්ච සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ඒ ආරක්ෂා කිරීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ ආරක්ෂා කිරීමේ වගකීමක් අපිට තියෙනවා.
මේ රට වෙනුවෙන් දිවි පිදූ, මේ මහ පොළව වෙනුවෙන් ලේ හලපු රණවිරුවෝ ආරක්ෂා කරන්න අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම් තේරුම් ගත්තු දේශපාලන බලවේගයක් අපි.