අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් උපදෙස් පරිදි ඇයගේ අවමංගල්‍ය කටයුතු ඉතා චාම් අයුරින් සිදු කිරීමට පවුලේ සාමාජිකයන් තීරණය කර ඇති බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ, එතුමියගේ දේහය සිකුරාදා පෙරවරු 10.00 ට ඇය පදිංචිව සිටි නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි අංක 30 දරන “නන්දා මාලිනී සංගීත ආශ්‍රමය” වෙත රැගෙන ඒමට නියමිත බවයි. මහජන ගෞරවය සඳහා දේහය සෙනසුරාදා පස්වරු 3.30 දක්වා එම නිවසේම තැන්පත් කර තැබෙනු ඇත.
තම දේහය නිවසින් බැහැරව වෙනත් පොදු ස්ථානයකට රැගෙන නොයන ලෙස නන්දා මාලිනී මහත්මිය සිය අවසන් කැමති පත්‍රයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම අවමංගල්‍ය කටයුතු කිසිදු උත්සවශ්‍රීයකින් තොරව ඉතා චාම්ව සිදු කරන ලෙසද ඇය දන්වා ඇත.
ඒ අනුව, සෙනසුරාදා පස්වරු 3.30 ට දේහය නිවසින් බැහැර කර බොරැල්ල කනත්ත වෙත රැගෙන යන අතර, එදින පස්වරු 5.00 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතය.
ඇයගේ දැඩි ඉල්ලීම පරිදි කිසිදු අවමංගල්‍ය සභාවක් පැවැත්වීම, ගුණකථන සිදු කිරීම හෝ ශෝක ප්‍රකාශ කියවීමක් සිදු නොකරන බවද මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර නන්දා මාලනියගේ අවසන් කටයුතු සිදු වෙනුවෙන් සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.