පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් අදාළ වන්දි මුදල් අය කරගැනීම සඳහා පැහැදිලි නීතිමය පදනමක් සකස් කර දී තිබියදීත්, එම නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ මෙතෙක් ලැබී ඇති මුදල් පිළිබඳව නිල හා විනිවිදභාවයකින් යුතු තොරතුරු ජනතාව හමුවේ නොමැති බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාරව නියම කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලින් නියමිත පළමු වාරිකය රජයට ලැබී ඇත්දැයි විමසා සිටි විපක්ෂ නායකවරයා, නියමිත කාලසීමාවන් තුළ සම්පූර්ණ මුදල අය කරගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව ද සභාවේ අවධානය යොමු කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ප්‍රශ්න කර සිටියේය.
“වාර්තා වන ආකාරයට මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් මිලියන 300ක් වැනි සුළු මුදලක් පමණක් බවට තොරතුරු පළ වෙනවා. එය නියමිත පළමු වාරිකයෙන් පවා ඉතා කුඩා ප්‍රතිශතයක්. එබැවින් මේ වන විට සැබැවින්ම ලැබී ඇති සම්පූර්ණ මුදල් ප්‍රමාණය, එම මුදල් ගෙවූ පාර්ශ්වය, මුදල් බැර වූ නිල ගිණුම් විස්තර සහ තවදුරටත් ලැබීමට ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ සත්‍ය දත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.”
එමෙන්ම, එලෙස ලැබුණු මුදල් පීඩාවට පත් ධීවර ප්‍රජාවගේ සුබසාධනයට හෝ හානියට පත් සාගර පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුවලට නිසි ලෙස වෙන් කර ඇත්ද යන්න පැහැදිලි කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කරන ලද මූලික වන්දියට අමතරව, මෙරටට සිදු වූ සමස්ත ආර්ථික හා දිගුකාලීන පාරිසරික හානිය නිශ්චය කර ඒ වෙනුවෙන් අතිරේක වන්දි ලබාගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යැයිද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.
මීට සමගාමීව, මෙරට නැගෙනහිර මුහුදු තීරයේදී අනතුරට ලක් වූ ‘නිව් ඩයමන්ඩ්’ (MT New Diamond) නෞකා ව්‍යසනයෙන් සිදු වූ හානි වෙනුවෙන් වන්දි අය කරගැනීමේ වත්මන් ප්‍රගතිය ද මෙහිදී විමසීමට ලක් විය.
අනතුර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ පරිදි අපරාධ විමර්ශන හා නඩු පැවරීමේ කටයුතු අවසන් කර ඇත්දැයි විමසූ විපක්ෂ නායකවරයා, අදාළ නියෝගවලට අනුකූල නොවූ පාර්ශ්වයන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර සහ ඒ සඳහා වන නිශ්චිත කාලරාමුව සභාවට ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
විශේෂයෙන්ම, සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) හමුවේ පවරන ලද නඩුව සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවේ දැක්වුණු නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින්, විදේශීය නීති උපදේශන සඳහා මෙතෙක් වැය කර ඇති මුදල් ප්‍රමාණය සහ අදාළ ක්‍රියාවලියේ ඉදිරි තීරණ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසමේ වත්මන් ක්‍රියාකාරී තත්ත්වය සහ එහි සභාපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවල සඳහන් වන පරිපාලන, නීතිමය හා ව්‍යවස්ථාමය ගැටලු විසඳීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී කරුණු විමසන ලදී.
රාජ්‍ය ආයතන අතර පැවති සම්බන්ධීකරණ ඌනතා හා අකාර්යක්ෂමතාවන් මඟහරවා ගනිමින් අනාගතයේදී මෙවැනි සාගර ව්‍යසනයන් මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා හඳුන්වා දීමට නියමිත ආයතනික හා නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ දැඩි වැදගත්කමද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය .
මේ සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද ආන්දෝලාත්මක අනාවරණයක් සිදුකර සිටියේය .