එම සහතිකය නාමල් රාජපක්ෂගේ නීතිඥයන් අභියෝගයට ලක්කර නොමැති බැවින් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ මස 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග ඒස්. බෝදරගම මහතා පසුගියදා (04) නියෝග කළේය.
අල්ලස් කොමිසම මඟින් ඔහුව අත්අඩංගුවට ගත් සැකකරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය සිදු කළේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම එක්ව සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගත් බව පැවසීය.
ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල්වල ජාත්‍යන්තර සහය ඇතිව විමර්ශන කටයුතු මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා,
ප්‍රංශයේ එයාර් බස් සමාගම සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අතර පුළුල් බඳ සහිත එයාර් බස් ගුවන්යානා 10ක් මිලදී ගැනීමට ගිවිසුමක් ඇති වී තිබූ බව පැවසීය.
ඒ් අනුව ගුවන් යානා 2ක් මිලදී ගැනීමෙන් පසු, එයාර් බස් සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් සිංගප්පූරුවේ ස්ටෑන්ටඩ් චාර්ටඩ් බැංකුවේ බිස් සොලියුෂන් නමැති සමාගමට ලැබී ඇති අතර එහි මවු සමාගම බෘනායි රාජ්‍යයේ පිහිටා තිබෙන බව විමර්ශනවලදී අනාවරණය විය. ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේදී එයාර් බස් සමාගමෙන් යුරෝ මිලියන 1.454ක් අල්ලස් මුදල් වශයෙන් ලෙස ලබාදී ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය විය.
එම බිස් සොලියුෂන් නමැති සමාගමේ හිමිකාරිය මෙන්ම එම සමාගමේ අධ්‍යක්ෂවරිය ලෙසද ප්‍රියංකා නියෝමාලී විජේනායක යන අය කටයුතු කර තිබේ.
මෙම ප්‍රියංකා නියෝමාලී යන අය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන්ගේ බිරිය බවද විමර්ශනවලදී අනාවරණය වූ බව පැවසීය.
ප්‍රියංකා නියෝමාලී විජේනායකගේ සමාගමකින් රුපියල් මිලියන 9, 7, 2 සහ 6 වශයෙන් අවස්ථා 4 කදී රුපියල් මිලියන 25ක මුදලක් ශමීන්ද්‍ර රාජපක්ෂ නමැති සැකකරුට බැර වී තිබෙන අතර තවත් අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නිමල් පෙරේරා නමැත්තාගේ Sabre Vision Holding Ltd සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ඇති ගිණුමකට මුදල් බැර වී තිබෙන බව පැවැසීය.
පසුම මෙම නිමල් පෙරේරා විසින් එම අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් සැකකාර නාමල් රාජපක්ෂට ලබා දී ඇතැයි දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ. 2014 වසරේ විනිමය අනුපාතයට අනුව එසේ ලබා දුන් මුදල්වල වටිනාකම රුපියල් මිලියන 100ක් පමණ වන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ගුවන්යානා මිලදී ගැනීම පිළිබඳ ප්‍රංශයේ එයාර් බස් සමාගමේ මීට පෙර සිටි කළමනාකාරීත්වය විසින් සිදු කළ ගනු-දෙනු පිළිබඳ තොරුතුරු ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමට ප්‍රංශයේ එයාර් බස් සමාගම එකඟ වී ඇත.
ඒ් අනුව මෙම ගනු-දෙනුවට අදාළ සියලුම ලේඛන ඊමේල් පණිවුඩ ගිණුම් විස්තර යනාදිය එම සමාගම විසින් අල්ලස් කොමිසම වෙත ලබා දී ඇති අතර එම සාක්ෂි ඔස්සේ විමර්ශන සිදු කිරීමේදී සැකකාර නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව සාක්ෂි අනාවරණය විය. එහිදී අනාවරණය වූ සාක්ෂි අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අල්ලස් කොමිසම පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිමල් පෙරේරා නමැත්තා ඕස්ට්‍රෙලියාවේ සිට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන අතර ඔහුට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින බව ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව එල්ල වූ ජීවිත තර්ජන නිසා ඔහුට ඕස්ට්‍රේලියාවට පලා යාමට සිදු වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
නිමල් පෙරේරා යන අයගෙන් මේ වන විට ප්රකාශ සටහන් කරගෙන ඇති අතර මුදල් බෙදා හැරීමට කටයුතු කළ සැකකාර ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර එම සැකකාරිය අත්අඩංගුවට ගෙන රැගෙන ඒ්මට පියවර ගනිමින් සිටින බව අල්ලස් කොමිසම පැවසුවේය. තවත් සැකකරුවකු වන ශමීන්ද්‍ර රාජපක්ෂ නමැත්තා අමෙරිකාවේ රැඳී සිටින බවට විමර්ශනවලදී කරුණු අනාවරණය විය.
එයාර් බස් මවු සමාගම ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන ඕනෑම විමර්ශනයකට සහය ලබා දීමට එකඟ වී ඇති බවද පැවසීය. ඒ අනුව එයාර් බස් සමාගමේ ඉහළ නිලධාරීන් අවස්ථා 03කදී මෙරටට පැමිණ ප්‍රකාශ 04ක් ලබා දී ඇත. එහි දී එයාර්බස් සමාගම හා සැකකරු අතර සම්බන්ධතාවන් පිළිබඳවත් තවත් කරුණු අනාවරණය විය.
දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබේ. විමර්ශන කටයුතු අවසන් අදියරේ පවතින බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නිමල් පෙරේරා නමැත්තාගේ ප්‍රකාශයක් මත පමණක් බවයි.
නිමල් පෙරේරා විසින් නාමල් රාජපක්ෂ මහතාට මුදල් ලබා දී ඇති බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවද ජනාධිපති නිතිඥවරයා සඳහන් කළේය.
නිමල් පෙරේරා නමැත්තා අවස්ථා කිහිපයකදී විවිධ ප්රකාශ සිදුකර ඇති පුද්ගලයකු බැවින් ඔහුගේ විශ්වසනීයත්වය පිළිබඳ බරපතළ ගැටලු පවතින බවද ඔහු අධිකරණයේදී පෙන්වා දුන්නේය.
ප්‍රංශ නිලධාරීන් හෝ එයාර්බස් සමාගමේ නිලධාරීන් විසින් නිමල් පෙරේරාට මුදල් ලබා දුන් බවට ප්‍රකාශ කර නොමැති බවද ජනාධිපති නිතීඥ සම්පත් මෙන්ඩිස් මහතා පැවසීය.
එමෙන්ම නිමල් පෙරේරා සම්බන්ධ තවත් නඩුවක් මේ වන විට මහාධිකරණය හමුවේ විභාගයට ලක්වෙමින් පවතින බවත්, එය ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවක් බවත් ඔහු සඳහන් කළේය.
එම නඩුවට අදාළවද මුදල් ලැබී ඇති බව පැවසෙන්නේ Sabre Vision Holding Ltd නමැති සමාගමකට අයත් ගිණුමකට බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, එහිදී නිමල් පෙරේරා එම ගිණුම තමන්ට අයත් නොවන බවත්, එය ඉතාලි ජාතික මිතුරකුට අයත් ගිණුමක් බවත් ප්‍රකාශ කර ඇති බව අධිකරණයට පැවසීය.
ඒ අනුව නිමල් පෙරේරා එක් අවස්ථාවක එක් ප්‍රකාශයක්ද, තවත් අවස්ථාවක ඊට වෙනස් ප්‍රකාශයක්ද සිදුකර ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
2019 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිමල් පෙරේරා විසින් ලබාදී ඇති ප්‍රකාශ විශ්වාස නොකළ බවද සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, එසේ නම් 2026 වසරේදී ඔහුගේ ප්‍රකාශ විශ්වාස කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
මෙහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, මෙවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් “කන්න ඕනේ වුණාම කබරගොයාත් තලගොයා කිරීමේ න්‍යාය” ලෙස හැඳින්විය හැකි බවද සඳහන් කළේය.
එබැවින් මෙම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකරු සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර ඇති බවයි.
එම සහතිකය අභියෝගයට ලක්කර නොමැති බැවින්, සැකකරුට ඇප ලබාදීමට අධිකරණයට බලය ලැබෙන්නේ සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණක් බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
මෙහිදී සැකකරුගේ නීතිඥවරුන් විසින් සුවිශේෂී කරුණු ලෙස ඉදිරිපත් කර ඇත්තේ නිමල් පෙරේරා නමැත්තා ලබාදී ඇති ප්‍රකාශයේ විශ්වසනීයත්වය සම්බන්ධ කරුණු බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
සාක්ෂිකරුවකුගේ සාක්ෂිවල විශ්වසනීයත්වය නිර්ණය කළ හැක්කේ නඩු විභාගයකදී බවත්, හරස් ප්‍රශ්න ඇසීම ඇතුළු නඩු විභාගයේදී සිදුකරන ක්‍රියාමාර්ග හරහා එම සාක්ෂිවල විශ්වසනීයත්වය තීරණය කළ හැකි බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, මෙම අවස්ථාවේදී නිමල් පෙරේරා නමැත්තා ලබාදී ඇති සාක්ෂියේ විශ්වසනීයත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
එම කරුණු අනුව සැකකරුට ඇප ලබාදීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බැවින්, නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තවද, එයාර්බස් සමාගමේ නිලධාරීන් විසින් ලබාදී ඇති ප්‍රකාශවල සාක්ෂි සම්පිණ්ඩනයක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.
රොශෙල් ප්‍රනාන්දු සහ පාරින්ද්‍යා ගුණදාස