මහරගම අපේක්ෂා පිළිකා රෝහල යනු මෙරට දහස් සංඛ්‍යාත පිළිකා රෝගීන්ගේ ජීවිත රැකදෙන එකම අනුපමේය සරණයි.
මෙම අඳුරු ගනුදෙනුවේ නවතම පියවර ලෙස, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා CID වෙත දැනුම් දී ඇත්තේ, අදාළ ප්‍රකාශය ලබාගැනීමෙන් පසු සතියක් ඇතුළත ඒ පිළිබඳ විස්තීර්ණ වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසයි.
‘සුව උදාන’ මුවාවෙන් ‘සිරිලිය සවියට’ ගිය මිලියනය
විමර්ශනවලදී අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය ‘පෙට් ස්කෑනර්’ (PET Scanner) යන්ත්‍රයක් මිලදී ගැනීමේ අරමුණින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ආධාර ඉල්ලා ඇත්තේ ‘සුව උදාන’ නම් විශේෂ ව්‍යාපෘතියක් හරහාය.
කෙසේවෙතත්, එම මානුෂීය ඉල්ලීමට සංවේදී වෙමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් අනුමත කරන ලද රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) මුදල බැරවී ඇත්තේ අදාළ රෝහල් ගිණුමකට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ගිණුමකට නොවේ. එම මුදල සෘජුවම බැරවී ඇත්තේ එකල මහත් ආන්දෝලනයකට තුඩු දුන් ‘සිරිලිය සවිය’ පදනම පවත්වාගෙන ගිය පෞද්ගලික බැංකු ගිණුමකට බව පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ. මෙම දැවැන්ත නොගැලපීම, අසරණ පිළිකා රෝගීන් උදෙසා වෙන්වූ මුදල් සාපරාධී ලෙස අවභාවිත කිරීමේ මූලික සැකය මතු කිරීමට ප්‍රධාන හේතුව වී ඇත.
චීන පරිත්‍යාගය සඟවා කළ මුදල් ගැරීම
මෙම පරීක්ෂණයේ වඩාත්ම සංවේදී සහ බරපතල කරුණ වන්නේ වෙනකකි. එනම්, අදාළ කාලවකවානුව වන විටත් රුපියල් මිලියන 50කට ආසන්න වටිනාකමකින් යුත් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් චීන රජය මඟින් මහරගම අපේක්ෂා රෝහලට නොමිලේ පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නිල වශයෙන් තහවුරු කර තිබීමයි.
එවන් වටිනා උපකරණයක් නිල වශයෙන් මෙරටට ලැබීමට නියමිතව තිබියදීත්, එම යන්ත්‍රය මිලදී ගැනීමට මුදල් අවශ්‍ය බව පවසමින් රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතන මුලා කිරීම පිටුපස ඇත්තේ කෙබඳු කුමන්ත්‍රණයක්ද? යන්ත්‍රයක් නොමිලේ ලැබෙන බව දැන දැනම, ඒ මුවාවෙන් මුදල් එකතු කිරීම මඟින් සිදු කර ඇත්තේ මහා පරිමාණයේ සාපරාධී සාවද්‍ය පරිහරණයක් (Criminal Misappropriations) සහ වංචාවක් බවට දැන් සැක පහළ වී තිබේ.
තවත් පෞද්ගලික බැංකු රැසක් දැලට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පමණක් නොව මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වාණිජ බැංකු කිහිපයකටම මෙම ‘පෙට් ස්කෑනර්’ ව්‍යාපෘතියේ ලේබලය අලවා මුදල් එකතු කර ඇති බවයි.
චීන රජයෙන් නොමිලේ ලැබුණු යන්ත්‍රය රෝහලට ලැබෙද්දී, පෙට් ස්කෑනර් යන්ත්‍රයේ නාමයෙන් විවිධ බැංකුවලින් එකතු කරගත් අතිදැවැන්ත මුදල් කඳවුරට සිදු වූයේ කුමක්ද? එම මුදල් වෙනත් දේශපාලන හෝ පෞද්ගලික කටයුතු සඳහා යොමු කළේද? යන්න පිළිබඳව නීතිපති උපදෙස් මත CIDය මේ වන විට සිය විමර්ශන පරාසය පුළුල් කරමින් සාක්ෂි එක්රැස් කරමින් සිටියි.
රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිදු කළ මෙම අමානුෂික මූල්‍ය වංචාවේ සැබෑ මහ මොළකරුවන් කවුරුන්ද යන්න ඉදිරි දිනවලදී හෙළිවීමට නියමිතය.