මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමි සහ ගිහි භාරකාර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන්ගේ ඒකාබද්ධ අත්සනින් යුතුව මෙම විශේෂ සංදේශය යොමු කර ඇත.
ඇතුල් කෝට්ටේ කමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතවතුන්ගේ පූර්ණ පෞද්ගලික මූල්‍ය දායකත්වයෙන්, දළදා වහන්සේගේ භාරකාරීත්වයේ අනුමැතියට යටත්ව මෙම පූජාව සිදු කර තිබේ.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිකුත් කර ඇති තත්ත්ව සහතික වාර්තාවට අනුව, මෙම නව ස්වර්ණමය මහා කරඬුවේ අඩංගු පිරිසිදු රත්තරන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 65යි ග්‍රෑම් 224කි. ඊට අමතරව එහි ඔබ්බවා ඇති විවිධ වර්ගයේ අනර්ඝ මැණික් ගල්වල බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 480ක් වන අතර, පෑස්සුම් සඳහා යොදාගත් උපකාරක ද්‍රව්‍යවල බර කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 822කි. ඒ අනුව, පූජා කරන ලද කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86යි ග්‍රෑම් 40ක් ලෙස සටහන් වේ.
මේ අතර, දළදා වහන්සේ මෙතෙක් වැඩ සිටි අතිපූජනීය ඓතිහාසික රන් ආලේපිත රිදී කරඬුවෙහි පෞරාණික අනන්‍යතාව සහ ඓතිහාසික වටිනාකම සුරක්ෂිත වන පරිදි, එය ශ්‍රී දළදා මාලිගාවේ වැඩසිටින මාලිගාව අභ්‍යන්තරයේම තැන්පත් කර ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවද අදාළ සංදේශයේ වැඩිදුරටත් දැක්වේ.
දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් ඉදිකිරීම ආරම්භ කර, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැඩ නිමවා පූජා කරන ලද එම පැරණි රන් ආලේපිත රිදී කරඬුව, විවිධ යුගවලදී මෙරට පාලනය කළ රජවරුන්, රාජ්‍ය නායකයන් මෙන්ම බුරුමය සහ සියම (තායිලන්තය) වැනි රටවල රාජකීය දූත පිරිස් විසින් පූජා කරන ලද මාහැඟි මුතු, මැණික් හා ස්වර්ණාභරණ රැසකින් අලංකාරවත් කර තිබූ ඓතිහාසික පූජා වස්තුවකි.
මේ පුවත තව අයට බලන්න







