Home Local News Room : ලහිරු බේරගත් ෆයිසර්ට අනෝජන්ගේ ඉරණමත් බාර කරන්නැයි යෝජනාවක්! ~

News Room : ලහිරු බේරගත් ෆයිසර්ට අනෝජන්ගේ ඉරණමත් බාර කරන්නැයි යෝජනාවක්! ~

0
0
සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීම සඳහා කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍යව ඇති පසුබිමක, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපාගේ මැදිහත්වීම පිළිබඳ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

ඊට පසුබිම සපයන්නේ 2018දී මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන වසර තුනකට ආසන්න කාලයක් රඳවා සිටි ශ්‍රී ලාංකික ලහිරු මධුශංකගේ සිද්ධියයි.

ලහිරුට හිටපු මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ “ස්නයිපර්වරයකු” බවට චෝදනා එල්ල වී තිබූ අතර, ඔහුගේ පවුල සහ නීතිඥවරිය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි. 

Amnesty International ඔහුට සාධාරණ නඩු විභාගයක් නොලැබීම සහ රඳවා සිටියදී හිංසනයට ලක්වූ බවට චෝදනාද වාර්තා කළේය.

එවකට ශ්‍රී ලංකාවේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වූ ෆයිසර් මුස්තාපා, මාලදිවයිනේදී ලහිරු හමුවී තිබූ අතර, ඔහුගේ මැදිහත්වීම සිදුවූයේ මාලදිවයිනේ නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිගේ දිවුරුම් දීමේ අවස්ථාවට ඔහු එරට සිටි කාලයේදීය.

ඉන් අනතුරුව මාලදිවයින් අපරාධ අධිකරණය 2018 නොවැම්බර් 21/22 දිනවලදී ලහිරුට එරෙහි නඩුව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඉවත දැමූ අතර, ඔහු නිදහස් කරන ලදී.

එම පූර්වාදර්ශය හමුවේ, අද සවුදි අරාබියේදී මරණ දඬුවමට මුහුණ දෙන අනෝජන් සිවරාසා වෙනුවෙන්ද ෆයිසර් මුස්තාපා වැනි සවුදි හා කලාපීය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ අත්දැකීම් ඇති පුද්ගලයකු විශේෂ නියෝජිතයකු ලෙස සම්බන්ධ කරගත හැකිද? යන්න පිළිබඳව ආණ්ඩුවට යෝජනා පැමිණ ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන්ම, මෙවැනි අවස්ථාවක නීතිමය අභියාචනා මාර්ගය සමඟම මානුෂීය හා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකිරීමේ හැකියාව පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු බවට මත පළ වී තිබේ.

ෆයිසර් මුස්තාපාද අනෝජන් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර, ඔහු ඉදිරිපත් කරන කරුණු අනුව ඔහුගේ අවධානය යොමුව ඇත්තේ සවුදි නීතියට ගරු කරමින් රාජකීය සමාවක් ලබාගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මාර්ගය කෙරෙහිය.

කෙසේවුවද, “අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට තවත් ඇත්තේ ඉතා කෙටි කාලයක් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here