ඥානසාර හිමියන් අද (05) දිනයේදී අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
නීතිය ක්‍රියාත්මක වීම මඟහරිමින් උන් වහන්සේ තිනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක සැඟව සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත පෙරේදා (03) රාත්රියේදී උන් වහන්සේ අත්අඩංගුවට ගෙන ඊයේ (04) අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී උන් වහන්සේව මහේස්ත්රාත්වරයාගේ නිල කාමරයට රැගෙන ගිය අතර එහිදී මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය. එමෙන්ම උන් වහන්සේ ලබන 06 වැනිදා කොළඹ මහාධිකරණ අංක 9 හමුවටත්, 07 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවටත් ඉදිරිපත් කිරීමට නියමිතය.
ඥානසාර හිමියෝ අභියාචනාධිකරණයේ නොතීසිය මත අධිකරණයේ පෙනී නොසිටීම නිසා වරෙන්තු ලබා සිටි අතර මීට අමතරව මහාධිකරණ අංක 9 සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 3 ඉදිරියේ පෙනී නොසිටීම මතද වරෙන්තු ලබා සිටියහ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි උන් වහන්සේට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දී තිබූ ජනාධිපති සමාව බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
අදාළ සමාව බලරහිත කිරීමෙන් පසු ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණයට මෝසමක් ගොනුකර තිබිණි.
එම මෝසම ඉකුත් 29 වැනිදා අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කර තිබුණේ ඥානසාර හිමියන් පිත්තාශයේ සැත්කමකට ලක්කර ඇති බැවින් විවේක සුවයෙන් පසුවන බවය. එහෙත් එම අසනීප තත්ත්වය තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොතිබිණි.
ඒ අනුව උන් වහන්සේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අභියාචනාධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර, විදේශ ගමන් තහනමක් ද පනවා තිබිණි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අවස්ථාවේදී අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාවට 2018 අගෝස්තු මාසයේදී අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. එම දඬුවම වසර හයකින් ගෙවී යන පරිදි නියම කර තිබිණි.
කෙසේ වෙතත්, 2019 මැයි මාසයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන් වහන්සේට විශේෂ ජනාධිපති සමාවක් ලබා දී නිදහස් කරනු ලැබීය.
එම සමාව අභියෝගයට ලක් කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ සමාව ලබාදීම නීත්‍යනුකූල නොවන බව තීන්දු කර එය බල රහිත කිරීමට පියවර ගත්තේය.
ජනාධිපති සමාව බල රහිත වීමත් සමඟ අභියාචනාධිකරණය මඟින් නියම කරන ලද මුල් සිරදඬුවම යළි නීත්‍යනුකූලව බලාත්මක වන බැවින් උන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක විය.







