Home Local News Room : සිසුවෙකුට ලිංගික අතවර කළ 49 හැවිරිදි ගුරුවරියට 8 වසරක...

News Room : සිසුවෙකුට ලිංගික අතවර කළ 49 හැවිරිදි ගුරුවරියට 8 වසරක සිරදඬුවම්.. ~

0
0
දාහතර හැවිරිදි පාසල් සිසුවකු තම නිවසට කැඳවාගෙන ගොස් ලිංගික අතවර සිදු කර අසභ්‍ය ඡායාරූප ලබා ගැනීමේ චෝදනා තුනකට වරදකරු කෙරුණු 49 හැවිරිදි දෙදරු මවක් වන පාසල් ගුරුවරියකට වසර අටක සිරදඬුවමක් මොනරාගල මහාධිකරණ විනිසුරු නිශාන්ත විජේසේකර මහතා විසින් නියම කරන ලදී.

එක් චෝදනාවකට වසර අට බැගින් වූ චෝදනා තුන සඳහා වසර විසිහතරක සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා, එම දඬුවම වසර අටකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක විය යුතු බවට නියෝග කළේය.

මීට අමතරව විත්තිකාරියට රුපියල් පනස්දහසක (50,000/-) දඩයක් නියම කළ අධිකරණය, පීඩාවට පත් පිරිමි දරුවා වෙත එක් චෝදනාවකට රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් චෝදනා තුනට රුපියල් හත් ලක්ෂ පනස්දහසක (750,000/-) වන්දි මුදලක් ගෙවන ලෙස ද නියෝග කරනු ලැබීය.

එම වන්දි මුදල නොගෙවන්නේ නම් වසරක ලිහිල් සිරදඬුවමක් ද, දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් සිරදඬුවමක් ද විත්තිකාරියට නියම කෙරිණි.

මෙසේ දඬුවම් නියම වූයේ නන්නපුරාව ප්‍රදේශයේ පාසලක ගුරුවරියක ලෙස කටයුතු කළ 49 හැවිරිදි කාන්තාවකටය.

ඇය විසින් 2019 සැප්තැම්බර් මස 29 වන දින 14 හැවිරිදි වියේ පසුවූ අදාළ පාසල් සිසුවා තම නිවසට කැඳවාගෙන ගොස් අතවරයට ලක් කරමින් අසභ්‍ය ඡායාරූප ලබාගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි.

පිටු 38 කින් සමන්විත මෙම අධිචෝදනා පත්‍රය පසුගිය 06 වන දා අධිකරණයේ විත්තිකූඩුවේ සිටි විත්තිකාරියට කියවා දෙන අවස්ථාවේදී ඇය ක්ලාන්ත වී ඇද වැටීම හේතුවෙන් රෝහල්ගත කිරීමට පියවර ගැනිණි.

අනතුරුව සුවය ලැබූ ඇයව පසුගිය 08 වන දින නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here