අදාළ අයදුම්පත පසුගිය 06 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මුල්වරට කැඳවූ අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා අද (12) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි නිකුත් කිරීමට පියවර ගැනිණි. ඒ අනුව අද දින අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කරනු ලැබීය.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ‘සිරිලිය සවිය’ සංවිධානයේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා සැප්තැම්බර් 24 වන දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඇය වෙත මීට පෙර දැනුම් දී තිබුණි.
කෙසේවෙතත්, ඊට පෙර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ ඇය, වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් 16 වනදා අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.
විදෙස්ගතව ප්‍රතිකාර ලබා යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපොළේදීම තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙමින්, ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙලෙස මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබිණි.
පසුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඇය 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.