Home Local News Room : මැලේසියාවේ දී පසුපස රෝද ගැලවී ගිය හේලීස් ගෙන්වන Omoda...

News Room : මැලේසියාවේ දී පසුපස රෝද ගැලවී ගිය හේලීස් ගෙන්වන Omoda 5 හි ඉරණම ~

0
0
පසුපස අත්හිටුවීමේ පද්ධතිය රෝද දෙක ද සමඟ ගැලවී යෑමේ සිද්ධියකින් පසු මැලේසියාවේ Omoda 5 මෝටර් රථ සඳහා නැවත කැඳවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට Chery සමාගම පියවර ගෙන තිබේ.

2026 ඔක්තෝබර් 11 දින නිකුත් කළ නිල නිවේදනයකින් Chery Auto Malaysia සමාගම සඳහන් කර ඇත්තේ, බලපෑමට ලක්වූ Omoda 5 රථවල C සහ H මාදිලි ප්‍රභේද පරීක්ෂා කර අවශ්‍ය අවස්ථාවලදී අදාළ කොටස ප්‍රතිස්ථාපනය කරන බවයි.

ඔක්තෝබර් 6 වැනිදා වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් මැලේසියාවේ මාර්ග ප්‍රවාහන දෙපාර්තමේන්තුව (JPJ) සමඟ සමීපව කටයුතු කරන බව ද සමාගම සඳහන් කර තිබේ.

නැවත කැඳවීමේ වැඩසටහන යටතේ අදාළ වාහන සම්පූර්ණයෙන් පරීක්ෂා කරන අතර, අවශ්‍ය අලුත්වැඩියා සහ කොටස් ප්‍රතිස්ථාපනය ඇතුළු සියලු පසු විපරම් කටයුතු නොමිලේ සිදුකරන බව Chery සමාගම පවසයි.

තම වාහනය මෙම වැඩසටහනට අයත්ද යන්න වාහන හඳුනාගැනීමේ අංකය (VIN) මගින් සමාගමේ වෙබ් අඩවිය හරහා පරීක්ෂා කරගත හැකි බවත්, වැඩිදුර තොරතුරු සඳහා Chery සේවා මධ්‍යස්ථානයකට යොමුවන ලෙසත් එම නිවේදනයේ සඳහන් වේ.

මෙම සිද්ධියෙන් පසු මැලේසියාවේ Omoda 5 රථ සඳහා නව ලියාපදිංචි කිරීම් අත්හිටුවීම පිළිබඳව ද වාර්තා පළ වී තිබේ. 

කෙසේ වෙතත්, Chery සමාගමේ ඔක්තෝබර් 11 නිවේදනයේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ නැවත කැඳවීමේ වැඩසටහන වෙතය.

Omoda 5 මෝටර් රථ ශ්‍රී ලංකාවේ Hayleys සමාගම විසින් අලෙවි කරනු ලබන බැවින්, මෙම සිද්ධිය මෙරට වාහන හිමියන්ගේ ද අවධානයට ලක්ව තිබේ.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් Hayleys සමාගම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් දැනුවත් කිරීමක් සිදු කර නොමැත.

OMODA C5 Price in Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here