සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (13) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී මේ බව අනාවරණය කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයාගේ මෙම ප්රකාශය කිසිසේත් සුළුවෙන් තැකිය හැකි කරුණක් නොවන බව අවධාරණය කළ අමාත්යවරයා, බන්ධනාගාරය විසින් සිදුකරනු ලබන පැමිණිල්ලකට අනුව අදාළ පොලිස් පරීක්ෂණ ක්රියාත්මක වන බව පැවසීය.
එවැනි සිදුවීමක් සත්ය වශයෙන්ම සිදුවූයේද සහ එසේ වූයේ නම් එය සිදුවූයේ කෙසේද යන්න මෙම පරීක්ෂණයේදී අනාවරණය කරගැනීමට නියමිත අතර, තමන් දුටු සහ ඇසූ සියලු තොරතුරු හෙළි කිරීමට උදය ගම්මන්පිල මහතාට එහිදී සිදුවනු ඇත.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය වැලිකඩ බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කරන අයුරු ජංගම දුරකථනයක් හරහා වෙනත් ස්ථානයක සිටි ‘බලවත් පුද්ගලයෙකු’ විසින් සජීවීව නිරීක්ෂණය කර ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා බරපතළ චෝදනාවක් එල්ල කර තිබුනේ 12 වනදා කොළඹදී පැවති විශේෂ මාධ්ය හමුවක් අමතමිනි. ඔහු කියා සිටියේ, අදාළ සිදුවීම ජාතික ජන බලවේගයේ ඉහළ නායකයන්ගේ දැඩි බලපෑම මත සිදුවූවක් බවයි.
පසුගිය ඔක්තෝබර් 08 වැනිදා ඥානසාර හිමියන්ගේ ඉල්ලීමකට අනුව තමන් වැලිකඩ බන්ධනාගාරයට ගිය බවත්, එහිදී මෙම සිදුවීම උන්වහන්සේ තමන්ට විස්තර කළ බවත් ගම්මන්පිල මහතා එදින පැවසීය. ඔහුගේ ප්රකාශයට අනුව, බන්ධනාගාර නිලධාරීන් විශාල පිරිසක් එක්ව උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීමට උත්සාහ කර ඇති අතර, එහිදී එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනයේ කැමරාව ක්රියාත්මක කරගෙන මෙම බලහත්කාරී ක්රියාවලිය අධීක්ෂණය කිරීමට බාහිර පාර්ශ්වයකට අවස්ථාව සලසා දී තිබේ. කැමරාව ක්රියාත්මක වීම හරහා නිලධාරීන් යම් දැවැන්ත පීඩනයකට ලක්ව ඇති බව තේරුම් ගත් ඥානසාර හිමියන්, නිලධාරීන්ගේ අසරණභාවයට පිහිට වීමේ අරමුණින් තමන් දරා සිටි චීවරය තමන් විසින්ම ඉවත් කිරීමට තීරණය කර ඇත.
එම අවස්ථාව ඥානසාර හිමියන්ට දැඩි මානසික කම්පනයක් ගෙන දුන් බව ගම්මන්පිල මහතා අවධාරණය කළේය. භික්ෂුත්වයේ අවසන් සලකුණ ලෙස සැලකෙන අඳනකඩය ඉවත් කර අතට ගත් මොහොතේ උන්වහන්සේ දැඩි ලෙස කම්පාවට පත්ව සිටි බවත්, නිලධාරීන් එය භාරගැනීමට අත් දිගු කළ විට ඇතිවූ කම්පනය නිසාම උන්වහන්සේ එය ඉහළට විසි කර ඇති බවත් ඔහු පැවසීය. එම අඳනකඩය ඒ මොහොතේ ක්රියාත්මක වෙමින් තිබූ විදුලි පංකාවක රැඳී තිබුණු බව ද ඔහු මාධ්ය හමුවේදී අනාවරණය කළේය.
ඥානසාර හිමියන් ගේ සිවුර ගලවීමේ කතාව ගැන නලින්ද අමාත්යවරයා සඳහන් කළේ මහනායක හිමිවරුන්ගේ ලිපිය ලැබුණු වහාම ජනාධිපතිවරයා ඊට මැදිහත්ව මහානායක හිමිවරුන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡා කළ බවයි.
දැනට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරන්නේ 1877 වසරේ සම්පාදනය කරන ලද බන්ධනාගාර ආඥා පනතේ ඇති රෙගුලාසි සහ නිත්ය නියෝග මත පදනම්වය. වසර තුනකට වඩා බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම වන හිමිවරුන් සම්බන්ධයෙන් පවතින මෙම රෙගුලාසි ක්රියාත්මක කිරීමේදී සමාජය තුළ යම් කම්පනයක් ඇතිවන බව රජය හඳුනාගෙන තිබේ.
මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් පස්දෙනෙකුගෙන් සමන්විත රාජ්ය නිලධාරීන්ගේ කමිටුවක් මේ වනවිටත් පත් කර ඇති බව ජයතිස්ස මහතා අනාවරණය කළේය. වසර තුනකට වැඩි සිරදඬුවම් විඳින ආගමික නායකයන් අධිකරණයට රැගෙන ඒමේදී අනුගමනය කළ යුතු ක්රියාපටිපාටිය පිළිබඳව එම කමිටුව විසින් සකස් කරන විශේෂ වාර්තාව මේ සතිය තුළ රජයට භාරදීමට නියමිතය.
එම වාර්තාව ලැබීමෙන් පසු, මහානායක හිමිවරුන්ගේද එකඟතාව මත අදාළ කමිටු නිර්දේශ ඇතුළත් නව රෙගුලාසි අමාත්යවරයාට පැවරී ඇති බලතල ප්රකාරව ගැසට් මගින් ප්රකාශයට පත් කෙරෙනු ඇත. බන්ධනාගාරගත වන ස්වාමීන් වහන්සේලා චීවරය දරා සිටීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ අදාළ නිකායන් විසින් බවත්, බන්ධනාගාරයෙන් පිටතට වැඩම කිරීමේදී චීවරය දරා සිටීම සම්බන්ධයෙන් පවතින ගැටලුවට මෙහිදී නෛතික විසඳුමක් ලැබෙනු ඇති බවත් අමාත්යවරයා පැහැදිලි කළේය. කිසියම් එක් පුද්ගලයෙකු වෙනුවෙන් නීතිය වෙනස් නොකරන නමුත්, නීතිය පනවන සමයේ මතු නොවූ ගැටලු වර්තමානයේදී පැනනැගී ඇති බැවින් ඊට වගකිවයුතු රජයක් ලෙස අදාළ රෙගුලාසි කඩිනමින් වෙනස් කිරීමට මැදිහත් වන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර, ඥානසාර හිමියන්ට ලබා දී ඇති අධිකරණ තීන්දුව පෞද්ගලික පළිගැනීමක් ලෙස ඇතැමුන් අර්ථකථනය කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන්ද අමාත්යවරයා දැඩි ලෙස ප්රතිචාර දැක්වීය. අධිකරණය ස්වාධීනව සිය තීන්දු ලබාදෙන බවත්, බන්ධනාගාරය සහ පොලීසිය සිදුකරන්නේ එම නියෝග ක්රියාත්මක කිරීම පමණක් බවත් ඔහු සිහිපත් කළේය. එම තීන්දුව පෞද්ගලික පළිගැනීමක් ලෙස හඳුන්වන්නේ නම්, හිටපු අගවිනිසුරු සමයේ දුන් තීන්දු පෞද්ගලික ඒවා දැයි සිතෙන බවද ඔහු ප්රකාශ කළේය.







