Home Local News Room : පූජා භූමිය සංවර්ධන කරන්නේ බැතිමතුන්ට බාධා නොවන්නයි… රුවන්මැලි සෑය...

News Room : පූජා භූමිය සංවර්ධන කරන්නේ බැතිමතුන්ට බාධා නොවන්නයි… රුවන්මැලි සෑය අසල වැට හරක් පනින නිසා! ~

0
0
අනුරාධපුර ඓතිහාසික පූජා භූමි කලාපය ආශ්‍රිතව වන්දනාමාන කටයුතුවල නිරත වන බැතිමතුන්ට කිසිදු බාධාවක් එල්ල නොවන පරිදි සංවර්ධන සැලසුම් සකස් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එල්ල වන විවේචන සහ චෝදනා කිසිදු පදනමක් නොමැති ඒවා බවත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුචිර විතාන මහතා අවධාරණය කරයි.

පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අදාළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මත පළවීමත් සමඟ කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

1940 දශකයේ නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත වූ දා පටන් අනුරාධපුර පූජා නගර සංවර්ධන කටයුතු සමඟ තම දෙපාර්තමේන්තුව සමීපව කටයුතු කළ බව සිහිපත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වත්මන් ගැසට් නිවේදනය එහි අඛණ්ඩ දිගුවක් පමණක් බව පෙන්වා දුන්නේය.

මෑතකදී ඇතැම් පාර්ශව විසින් නඟන ලද චෝදනා ප්‍රතික්ෂේප කළ ඒ මහතා, අදාළ ගැසට් පත්‍රය මඟින් පූජා භූමිය තුළ අලුතින් කෝවිල් ඉදිකිරීමක් හෝ මල් ආසන ඉදිකිරීමක් පිළිබඳව කිසිදු සඳහන් කිරීමක් සිදු කර නොමැති බවත්, සත්‍ය තොරතුරු අවබෝධ කර ගැනීම සඳහා ප්‍රබුද්ධ ජනතාවට එම ගැසට් පත්‍රය අධ්‍යයනය කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එමෙන්ම ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අවට මීටර් 500කට ආසන්න දුරකින් ඉදිකර ඇති ආරක්ෂිත වැට සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කළ ඔහු, ගවයින් ඇතුළු සතුන්ගෙන් පුරාවිද්‍යා භූමියට සිදුවන හානි වළක්වා ගැනීම එහි මූලික අරමුණ වූ බව ප්‍රකාශ කළේය. ඉදිරියේදී එය තුරුලතාවලින් ආවරණය වූ පරිසර හිතකාමී ජෛව වැටක් ලෙස පූජා භූමියට උචිත අයුරින් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවත්, බැතිමතුන්ගේ ආගමික වතාවත්වලට ඉන් කිසිදු අවහිරයක් නොවන බවත් හෙතෙම තහවුරු කළේය.

මෙම සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් යම් පුරවැසියෙකුට හෝ සංවිධානයකට පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වන්නේ නම්, බත්තරමුල්ල, සෙත්සිරිපාය පළමු අදියරේ පස්වන මහලේ පිහිටි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ නිලධාරීන් මුණගැසී අවශ්‍ය සියලු තොරතුරු ලබාගත හැකි බවද රුචිර විතාන මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here