Home Local News Room : මාලිමා ශාකා සමිති ග‍්‍රාම සේවා වසම්වල හදලා අපේ අය...

News Room : මාලිමා ශාකා සමිති ග‍්‍රාම සේවා වසම්වල හදලා අපේ අය ආණ්ඩුකරණයට ගන්නවා..- ලාල් කාන්ත ~

0
0
පසුගිය මැතිවරණ සමයේ ගෙයින් ගෙට ගොස් ජාතික ජන බලවේගය වෙනුවෙන් කැපවූ බිම් මට්ටමේ ක්‍රියාකාරිකයන්, වත්මන් පාලනය තුළ ජනතාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා මහජන නියෝජිතයන් සමඟ සෘජුව එක්වෙමින් පාලන ක්‍රියාවලියට සක්‍රීයව මැදිහත් විය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පැවති ජාතික ජන බලවේගයේ කොට්ඨාස නියෝජිත හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මැතිවරණ ව්‍යාපාරය පැවති වකවානුවේදී ජාතික ජන බලවේගය බලයට ගෙන ඒම වෙනුවෙන් ගමේ අසල්වැසියන් දැනුවත් කරමින්, විවිධ පාර්ශ්ව වෙතින් එල්ල වූ නින්දා අපහාස හා උපහාසාත්මක කතාවලට මුහුණ දෙමින් කැපවූයේ ගම් මට්ටමේ පාක්ෂිකයන් බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. 

“හැම ග්‍රාමසේවා වසමකටම ජාතික ජන බලවේගයේ ශාඛාවක් කියමුකෝ. මාලිමාවේ ගමේ ආයතනය හදනවා. දැන් අපි ආණ්ඩුකරණ පක්ෂයක්නේ. ජාතික ජන බලවේගයේ යම් ග්‍රාමසේවා වසමක ඉන්න අපේ කණ්ඩායම මේ ආණ්ඩුකරණ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න ඕනි. එතකොට තමයි ඉහළ සිට පහළටම අවශ්‍ය කටයුතු ටික සිද්ධ වෙන්නේ.”

සියයට තුනක ඡන්ද පදනමක් සහිත පක්ෂයක් කෙසේ බලයට පත්වන්නේදැයි සමච්චල් කළ පුද්ගලයන් පවා, අද වන විට ඉඩම් ඔප්පු ඇතුළු ගමේ විවිධ ප්‍රශ්න රැගෙන එන්නේ එම මාලිමා ක්‍රියාකාරිකයන් හමුවට බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

එවැනි ගැටලු ගම් මට්ටමේ ක්‍රියාකාරිකයන්ට තනිව විසඳිය නොහැකි බැවින්, අදාළ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෝ මහජන නියෝජිතයා ඒ සඳහා සෘජුව සම්බන්ධ කරගත යුතු බව පැවසූ අමාත්‍යවරයා, ක්‍රියාකාරිකයන් සතුව සිය මන්ත්‍රීවරයාගේ සෘජු දුරකථන අංක තිබිය යුතු බව අවධාරණය කළේය. රැස්ව සිටි පිරිස සතුව එම අංක නොමැති බව දුටු අමාත්‍යවරයා, මහනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිල දුරකථන අංක සියල්ලන්ටම ඇසෙන සේ වේදිකාවේ සිටම ප්‍රසිද්ධ කළේය.

ඒ අනුව, ජනතාවගේ ගැටලු හමුවේ මඟ නොහැර එම අංක ඔස්සේ වගකිවයුත්තන් සම්බන්ධ කර දෙමින් කඩිනම් විසඳුම් ලබාදීමට පෙරමුණ ගන්නා ලෙස පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here