Home Local News Room : කොළඹ ඉරාන තානාපති නිවසට වාහනයක් කඩා වදී.. අන්තවාදී ක‍්‍රියාවක්දැයි...

News Room : කොළඹ ඉරාන තානාපති නිවසට වාහනයක් කඩා වදී.. අන්තවාදී ක‍්‍රියාවක්දැයි පරීක්‍ෂණ.. පුපුරණ ද‍්‍රව්‍ය තිබුනේදැයි සොයයි.. ~

0
0
කොළඹ පිහිටි ඉරාන තානාපති නිල නිවසේ ආරක්ෂිත තාප්පය කඩාගෙන සුඛෝපභෝගී මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් එහි භූමියට ඇතුළු වීමේ සිද්ධිය කිසියම් ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාවක් ද යන්න පිළිබඳව සොයා බැලීමට පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව කුරුඳුවත්ත පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ කරුණු දැක්වූ කුරුඳුවත්ත පොලිස් නිලධාරීන් සඳහන් කළේ, අදාළ අනතුරට ලක්වූ මෝටර් රථය තුළ කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් හෝ සැකකටයුතු උපකරණයක් තිබුණේද යන්න තහවුරු කරගැනීම උදෙසා රජයේ රස පරීක්ෂකවරයා, පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය මෙන්ම පොලිස් නිල සුනඛ අංශය ද යොදවා දීර්ඝ විමර්ශන සිදුකරන බවයි.

ඔක්තෝබර් මස 31 වැනිදා අලුයම මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට පත් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 27 හැවිරිදි මොහොමඩ් තාරික් මන්සූර් සහ එහි ගමන් කළ බව කියන මොහොමඩ් ඉන්හාම්, මයුරන් කනකසුන්දරම් හා මොහොමඩ් උස්මාන් යන සැකකරුවන් සිව්දෙනා කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අදාළ නඩුව (02) කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ, මෙය හුදෙක් පාලනයෙන් ගිලිහී ගිය හදිසි රිය අනතුරක් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ගේ පවුල්වල ඥාතීන් මෙරට ඉරාන තානාපතිවරයා පෞද්ගලිකව මුණගැසී සාකච්ඡා කර කරුණු පැහැදිලි කර ඇති බවත්ය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් සිව්දෙනා ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර, සිද්ධියට අදාළ රස පරීක්ෂක වාර්තා ඇතුළු විමර්ශනවල ප්‍රගතිය මෙම මස 30 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස කුරුඳුවත්ත පොලීසියට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here