ප්‍රදේශවාසීන්, පරිසර සංවිධාන සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉදිරිපත් කර ඇති විරෝධතා හා කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව UDA විසින් Melwa Cement (Pvt.) Ltd. සමාගම වෙත යොමු කළ නිල ලිපියක සඳහන් වේ.
2026 සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 9 යන දිනවල පැවැති UDA ප්‍රධාන සැලසුම් කමිටු රැස්වීම්වලදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු සලකා බලා තිබේ.
එහිදී මතුවූ ප්‍රධාන ගැටලුවක් වන්නේ ව්‍යාපෘතිය හේතුවෙන් මීගමුව කලපුව සහ ඒ අවට පාරිසරික වශයෙන් සංවේදී තෙත්බිම්වලට ඇතිවිය හැකි බලපෑමයි.
එසේම, දූවිලි විමෝචනය හා වායු දූෂණය හේතුවෙන් අවට ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට සහ ජීවන තත්ත්වයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ද බරපතළ අවධානයක් යොමු කර තිබේ.
පරිසර බලපෑම් තක්සේරුවක් අනිවාර්ය කරයි
මෙම ගැටලු සම්බන්ධයෙන් ව්‍යාපෘති සංවර්ධකයා විසින් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් (EIA), මූලික පාරිසරික පරීක්ෂණයක් (IEE) හෝ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) නිර්දේශ කරන වෙනත් විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් පිළිගත් පාරිසරික ඇගයීමක් ලබාගත යුතු බව UDA දැනුම් දී ඇත.
එම ඇගයීම මඟින් යෝජිත කර්මාන්තශාලාවෙන් පරිසරයට සහ මහජන සෞඛ්‍යයට ඇතිවිය හැකි බලපෑම් පුළුල් ලෙස විමර්ශනය කර, ඒවා වැළැක්වීමට හෝ අවම කිරීමට ගත හැකි පියවර හඳුනා ගැනීම ද කළ යුකුය.
කොළඹ–මීගමුව මාර්ගයටත් බලපෑම්?
කර්මාන්තශාලාව සඳහා බර වාහන විශාල ප්‍රමාණයක් ගමන් කිරීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් පුළුල් රථවාහන බලපෑම් තක්සේරුවක් (TIA) ඉදිරිපත් කරන ලෙස ද UDA නියෝග කර තිබේ.
එම තක්සේරුවේදී කොළඹ–මීගමුව ප්‍රධාන මාර්ගය (A03), කටුනායක අධිවේගී මාර්ගය (E03) සහ අවට මාර්ග ජාලයට ඇතිවිය හැකි බලපෑම් මෙන්ම රථවාහන ගමනාගමනය හා මාර්ග ආරක්ෂාව පිළිබඳව ද විමර්ශනය කළ යුතුය.
මෙම තක්සේරුව සංවර්ධකයාගේ අභිමතය පරිදි පමණක් සිදුකළ නොහැකි බව ද UDA අවධාරණය කර ඇත.
ඒ වෙනුවට අධිකාරිය විසින් නිර්දේශ කරන ආයතනයක් මඟින් එය සිදුකර, UDA රථවාහන බලපෑම් තක්සේරු කමිටුවේ සමාලෝචනයට හා අනුමැතියට ඉදිරිපත් කළ යුතු බවද පැවසේ.
අපද්‍රව්‍ය කළමනාකරණයත් ගැටලුවක්
යෝජිත කර්මාන්තශාලාවෙන් ජනනය වන ඝන අපද්‍රව්‍ය එකතු කිරීම, ප්‍රවාහනය, හැසිරවීම සහ බැහැර කිරීම සඳහා නීත්‍යනුකූල ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු බව ද UDA දැනුම් දී තිබේ.
ඒ සඳහා අනුමත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ හා බැහැර කිරීමේ ක්‍රමවේදයක් පවතින බව තහවුරු කරමින් කටුනායක–සීදුව නාගරික සභාවේ නිල ලිඛිත එකඟතාව ලබාගත යුතුව ද ඇත.
මීට අමතරව, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් UDA සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කර ඇති සැලසුම්, විස්තර සහ අනෙකුත් ලේඛන අතර හඳුනාගෙන ඇති නොගැළපීම් පිළිබඳව ද සතුටුදායක ලිඛිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන ලෙස සමාගමට දැනුම් දී ඇත.
අවශ්‍ය නම් සංශෝධිත සැලසුම් සහ අදාළ ලේඛන ද ඉදිරිපත් කළ යුතුව තිබේ.
දින හතක් ඇතුළත ඉදිකිරීම් නතර කරන ලෙස නියෝග
ඒ අනුව, අදාළ ලිපිය නිකුත් කළ දින සිට දින හතක් ඇතුළත සියලු ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු නතර කර, අවශ්‍ය කොන්දේසි සපුරා නිල අනුමැතීන් ලබාගන්නා තෙක් එම කටයුතු නැවත ආරම්භ නොකරන ලෙස සමාගමට විධිමත්ව දැනුම් දී ඇත.
මෙම නියෝගය නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්යක්ෂවරයා විසින් 2026 ඔක්තෝබර් මාසයේදී Melwa Cement සමාගමේ අධ්යක්ෂවරයා වෙත යොමු කර තිබේ.
යළි ආරම්භ කිරීම බොරු
මෙම තත්ත්වය යටතේ මේ කම්හල නැවැත්වීම සඳහා දැඩි කැපකිරීමක් කළ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිස මෙහි ඇති පාරිසරික බලපෑම් ගැන අවධානය යොමුකර මෙය නැවත ආරම්භ කිරීමට කිසිදු අවස්ථාවක් නොදෙන බවට පීඩාවට පත්වන කම්හල අවට ප්‍රදේශවාසීන්ට පොරොන්දුවක් ද ලබාදී ඇත.







