9
ආණ්ඩුවක් නැති වෙන්නේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් – ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමේදී ජනපති පවසයි
ලබන වසරේත් රටේ තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බවත්, ආණ්ඩුවක් නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ නිසා වසර දෙකකට පසු සංවර්ධනය සඳහා දී ඇති මුදල් ගෙන ගමට ගොස් ගමේ සංවර්ධනයට ඍජුවම දායකවන්නැයිද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මේ බව කීවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ පෙරේදා (4) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට හදිසියේ සහභාගි වෙමිනි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් සංවිධානය කර තිබුණු මේ රැස්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් තිදෙනාම සහභාගී වීම විශේෂත්වයකි. රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා හැර ආණ්ඩුව නියෝජනය කරන හා ආණ්ඩුවට සහාය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සදහා සහභාගී වී සිටියහ. සිසිර ජයකොඩි, මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරුන් විදෙස්ගතව සිටින නිසා මීට සහභාගි වූයේ නැත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් මෙසේද කීවේය:
“1978දී තමයි මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් දෙන්න පටන් ගත්තේ. එතකොට මන්ත්‍රීවරයකුට වැඩකටයුතු කරන්න ලැබුණේ රුපියල් ලක්ෂ තුනයි. ගමක් දියුණු කරන්න මුදල් අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වැඩකටයුතු තමන්ගේ ප්‍රදේශයේ ආරම්භ කරන්න. මෙහි එකම පරමාර්ථය ප්‍රාදේශීය මට්ටමින් ගමට යන එක. එදා යන්න බැරි වුණා නම් දැන් හොඳ අවස්ථාවක් ගමට ගිහින් වැඩ කරන්න. කවුරුවත් ගමෙන් ඈත් වෙලා ඉන්න එපා. ගම්පහ ඕනෑම තැනකට යන්න පුළුවන්. කාටවත් යන්න බැරි තැනක් නෑ. සංවර්ධන කටයුතු ආරම්භ කරන්න. අගෝස්තු වෙන්න කලින් ඒ කටයුතු අවසන් කරන්න. කල් දාන්න එපා. එන අවුරුද්දේ මුදල් දෙන්නම්. එන අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවමයි. ආණ්ඩුව නැති වෙන්නේ ගමට නොගියොත් තමයි.
“ගම්පහ දිස්ත්‍රික්කය අපි ඇති කළේ 1970 වසරේ. එදා ඉඳන් කොයි ආණ්ඩුව තිබුණත් විශාල දියුණුවක් ගම්පහට ලැබුණා. අද වැඩිම ජනගහනය ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ශීඝ්‍රයෙන් දියුණු වෙලා තියෙනවා. ඈත් වෙලා හිටපු මිනිස්සු ගම්පහ හැදුවේ නෑ. ගම්පහ හදලා තියෙන්නේ මේ පක්ෂ දෙක බැහැලා වැඩ කරපු නිසයි. ඒක කාටත් කියන්න. පක්ෂ දෙකක් එකතු වෙලා කරපු වැඩ කටයුතුවලට හොඳම උදාහරණය තමයි ගම්පහ. අනෙක් අය කියනවා නම් මුකුත් කළේ නෑ කියලා, ගම්පහ ඇවිල්ලා බලන්න කියන්න.”
උපාලි කරුණාරත්න