13
එක්සත් ලක් වනිතා පෙරමුණේ කාන්තා දින සැමරුම අමතමින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන කියයි
රටේ කාන්තාවන් සවිබල ගැන්වීමට කවදත් කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ඔහු ඒ බව ප්‍රකාශ කළේ ‘එක්සත් ලක් වනිතා පෙරමුණ’ විසින් පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පසුගිය 8 දා සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සමරුව අමතමිනි.
දිරියෙන් දිවිය ජය ගත් කාන්තාවන් ඇගයීමද සිදු කෙරුණු මේ උත්සවයේදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය:
“ලක් වනිතා පෙරමුණේ කාන්තාවන් අපේ පක්ෂයේ කොඳු නාරටියයි. ඔවුන් අපේ පක්ෂය වෙනුවෙන් විශාල ලෙස කැප වෙලා වැඩ කරන කණ්ඩායමක්. මේ අවස්ථාවේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට මා කාන්තාවන්ට ගෞරවය පුද කරනවා. මේ රටේ කාන්තාවන් සවිබල ගන්වන්න කවදත් කටයුතු කෙරුවේ එක්සත් ජාතික පක්ෂයයි. ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කළේ, ඔවුන් ශක්තිමත් කළේ, ඔවුන් ව්‍යාපාරිකයන් බවට පත් කරන්න අවශ්‍ය ශක්තිය දුන්නේ එජාපයයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එදා සිටම බැලුවේ කාන්තාවන් සවිබල ගන්වන්නෙ කොහොමද කියලයි. දේශපාලන වශයෙන්ද, ව්‍යාපාර වශයෙන්ද, කාන්තාවන් සමාජයේ ඉහළම තලයේ තැබීම ඔහුගේ ඉලක්කය වුණා.”
එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා:
“ජනාධිපතිතුමා කාන්තා අභිවෘද්ධිය සඳහා සුවිශේෂ නීතිමය පියවර කිහිපයක් ගන්නා දිනයක් ලෙස අද හඳුන්වන්න පුළුවන්. එදා කාන්තාව ගෘහිණිය කියන ස්ථානයට බොහෝ දුරට හිර වුණා. මාතෘත්වයත්, ගෘහිණියත් කියන තනතුරු දෙකට පමණක් සීමා වුණ කාන්තාව අද මේ සමාජය තුළ ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. කාන්තාව අද දේශපාලන කරළියේ ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ ගමනට රුකුලක් වුණ නායකත්වයක් විදියට එජාප නායකත්වය හඳුන්වන්න පුළුවන්. නායක රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැතිවරයකු වශයෙන් පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය 25%ක් අනිවාර්ය කිරීමට තීන්දුවක් ගත්තා. මේ අනිවාර්ය දායකත්වය නිසා බිම් මට්ටමේ දේශපාලන නායකත්වය පුරුෂාධිපත්‍යයෙන් ඔබ්බට ගිහින් කාන්තා නායකත්වයක් බවට ක්‍රමානුකූලව පරිවර්තනය වෙමින් පවතිනවා.”
පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා:
“කාන්තාවන් සවි බලගැන්වීමේ පනත 8 දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තා. කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවන්න එමඟින් කටයුතු කර තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් සඳහා වන පාර්ලිමේන්තු කොමසාරිස් සහ කොමිෂන් සභාවකුත් ඒ තුළ ගැබ් කර තිබෙනවා. ඒ වගේම කාන්තාවන් සඳහා වන ජාතික අරමුදලක් පිහිටුවීමත් මේ පනතේ තිබෙනවා.
“ඒ වගේම 8 දා මධ්‍යම රාත්‍රියේදී ජනාධිපතිවරා තවත් පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ තමයි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ පනත. දකුණු ආසියාවේ මෙවැනි බලසම්පන්න පනත් දෙකක් ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කර තිබෙන පළමු අවස්ථාව මෙයයි.
“මේ ශාලාවේ ඉන්න කාන්තාවන් ඇතුළු රටේ සියලු දෙනාට භූමිතෙල් බෝතලේ අතේ තියාගෙන ශෙඩ්වල පෝලිමේ ඉන්න වුණා; ගෑස් ටැංකිය ගන්න පෝලිමේ ඉන්න වුණා. මේ දේවල් නිවැරදි කරන්න කිසි කෙනකු ඉදිරියට එන්නේ නැති අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට ඇවිත්
මහජනතාවගේ වගකීම භාර ගත්තා. අද රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. නැවතත් පසුගිය අවුරුදු 2ක කාලයක් තිබුණු පෝලිමේ යුගයට යනවද? එහෙම නැති නම් අපේ රටත් ලෝකයේ දියුණු රටවල් සමඟ ඉදිරියට යනවද කියලා ඔබ සිතා බැලිය යතුයි. රටේ කාන්තාවන් වශයෙන් ඔබට මේ ගැන ලොකු වගකීමක් තිබෙනවා.”
එජාප ජාතික සංවිධායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා:
“මෑත ඉතිහාසයේ අපේ රටේ ඇති වුණ කඩාවැටීම වැඩිපුරම බලපෑවේ මවුවරුන්ටයි. කිරි ටික හිඟ වෙන කොට, ගෑස්එක නැති වෙන කොට ඒ පීඩනය වැඩිපුරම දැනුණේ කාන්තාවටයි. ගෙදර ආර්ථිකය කඩාවැටෙන කොට කාන්තාවන් අසරණ වුණා.
“ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ලංකාවේ එක් එක් පාර්ශ්වවල වගකීම පැහැදිලි කරමින් විකිපීඩියාව සඳහන් කරන්නේ ලෝකෙ පළමු රට කාන්තා අගමැතිනියක් පත් කර ගත්තේ ශ්‍රි ලංකාව බවයි. තව ටිකක් පහළින් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාව ගෙදර ආහාර පිසීම, දරුවන් හදාවඩාගෙන ඒ අයගේ අධ්‍යාපන කටයුතු කිරීම සහ ගෙදර වැඩ කටයුතු සිදු භාරව ඉන්න බවයි. අප අද ඒ තත්ත්වයෙන් එහාට ගිහින් තිබෙනවා. විකිපීඩියාව අලුත් වෙන්න ඕනෑ. අද ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියට එ්ම ආරම්භ කර තිබෙනවා. තවත් සකස් වෙන්න ඕනෑ තැන් රැසක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.”
එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනි කෝංගහගේ මහත්මිය:
“රටේ ආර්ථිකය බිඳවැටෙන කොට, රටේ ආර්ථිකය පහත වැටෙන කොට හැම දේශපාලන පක්ෂයකටම අනිවාර්යයෙන්ම තිබෙන හයිය සහ හදවත කාන්තාවයි. රනිල් වික්‍රමසිංහ මහතා තනි වෙන කොට අප ඔහු අතඅරින්නෙ නැතුව සිටියේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ආරම්භ කළ, අපට කන්න දුන් එක්සත් ජාතික පක්ෂය රැකගන්න ඕනෑ කියන එක මේ කාන්තාවන් සියලු දෙනා සිතූ නිසයි. ඒකෙ ප්‍රතිඵල අපට අද ලැබිලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ගෙනෙන මේ අණපනත් එහි ප්‍රතිඵල විදියට දක්වන්න පුළුවන්.”
කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා, හිටපු ඇමැතිවරුන් වන ආනන්ද කුලරත්න මහතා සහ සුනේත්‍රා රණසිංහ මහත්මියද මෙහිදී අදහස් දැක්වූ අතර, මේ අවස්ථාවට එක්සත් ලක් වනිතා පෙරමුණේ සාමාජිකාවන් ඇතුළු කාන්තාවෝ විශාල පිරිසක් එක් වී සිටියහ.
ශිරෝමි අබයසිංහ සහ
නෙත්මි පූජනී රත්නායක