16
අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස උත්සහ කරන්නේ මහ පාරේ, වේදිකාවල ඉඳන් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට බව එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි හේවාහැට ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පැවැසුවාය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (14) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී කෝන්ගහගේ මහත්මිය මෙසේ ද පැවැසුවාය.
‘අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස උත්සහ කරන්නේ මහ පාරේ, වේදිකාවල ඉඳගෙන ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනතා ප්‍රශ්න විසඳන්න හොඳම ස්ථානය පාර්ලිමේන්තුව නිසා ඒ තුළ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ඔවුන්ට ආරාධනා කළත් ඔවුන් එය පිළිගන්න පාටක් පෙනෙන්න නැහැ.ජනප්‍රිය දේශපාලනය නිසා රටේ ජනතාවට සුගතියක් වෙන්නේ නැහැ.හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාගේ යෝජනාව අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන්නයි කියන ඉල්ලීමට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වමින් සමඟි ජන බලවේගයට එම අවස්ථාව දුන්නත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වාට එම අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව දුන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසගේ තීන්දු, තීරණ පිටිපස්සේ ඉන්නේ කවුරුන්ද කියන දේ දැන් හොඳාකාරවම මේ රට දන්නවා.තමන්ගේ දේශපාලනය කරන්න රටක් අවශ්‍යයි කියන එක සජිත් ප්‍රේමදාස මහතා තවමත් තේරුම් අරගෙන නැහැ.
ඒ වගේම විපක්ෂය බොහෝ වෙලාවට දරුවන්ගේ අධ්‍යාපනය සහ පෝෂණ තත්ත්වය ගැන කතා කරනවා. වර්තමාන ජනාධිපතිවරයා දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පෝෂණ අවශ්‍යතාවන් සපුරමින් ඔවුන්ට අවශ්‍ය නිල ඇඳුම්, ආහාර, පාවහන් වැනි දේවල් රජයෙන් යම් සහනදායී ක්‍රමයකට ලබාදීම කරනවා.ලංකාවේ පාසලක ඉගෙනගෙන දේශීය විශ්ව විද්‍යාලයකට ගිහින් මෙරට දරුවන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ වුවමනා පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන නායකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වන්න පුළුවන්.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම ගැන ජනාධිපතිවරයා පසුගිය දිනවල සාකච්ඡා කළා.වසර දහතුනක අධ්‍යාපනය ලබාදීමත් ඔවුන්ගේ දක්ෂතා තිබෙන්නේ කුමන තැනක ද කියන එක පිළිබඳවත් රනිල් වික්‍රමසිංහ මහතා අවබෝධයෙන් යුතුව අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.’
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහතා –
‘මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව විසින් අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳ ඔවුන්ගේ නිරීක්ෂණ ලබාදෙමින් තිබෙනවා. ඒ වගේම රටේ ඉතිරි ණය ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ කරන ආකාරය සහ එහි ප්‍රගතිය ගැන ජනාධිපතිවරයා විටින් විට අදහස් දක්වනවා. රට වැටුණු වෙලාවේ ජනාධිපතිවරයා හිතුවේ රට ගැන මිසක් පක්ෂය ගැන නොවෙයි. බොහෝ අය අහන ප්‍රශ්නයක් තමයි මේ හොරකම් කළ සල්ලි ටික මේ රටට ගෙනල්ලා ඒ මුදල්වලින් ලංකාව දියුණු කරන්න බැරි ඇයි කියන ප්රශ්නය. ලෝකයේ ඉන්න ප්‍රබලම ධනවතා ගාවට ගිහින් ඔහුගේ සල්ලි ගෙනාවත් ලංකාවේ තිබෙන ණය ප්‍රශ්න විසඳන්න අමාරුයි.
2015 යහපාලන ආණ්ඩුවේදී හොරු අල්ලන වැඩේ බාර දුන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. ජනතා විමුක්ති පෙරමුණේ විජේපාල කියන මහත්තයා තමයි ඒ කමිටුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ.
නමුත් ඔවුන් කළේ ඒ ෆයිල් අරන් ගිහින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම පමණයි. ඒ ෆයිල්වල ඉන්න හොරු ඔවුන් ඇල්ලුවේ නැහැ. නමුත් අදත් ඔවුන් ඇවිත් හොරු අල්ලනවා කියා කියනවා. ෆයිල් ටික තමන්ගේ අතේ තියාගෙන මිනිස්සුත් එක්ක බොරු රැලි නිර්මාණය කරන්නේ නැතිව උසාවියට ගිහින් ඔවුන්ට විරුද්ධව පියවර ගත හැකියි කියන එක අපි මතක් කරන්න කැමැතියි.’
ශිරෝමි අබයසිංහ සහ මැදකොළඹ සමූහ