Home Local News Room : අනධ්‍යයන වර්ජනයක ලකුණු: පාසල් පැවැත්වීමට මවුපිය සහය ගන්න; කලාප...

News Room : අනධ්‍යයන වර්ජනයක ලකුණු: පාසල් පැවැත්වීමට මවුපිය සහය ගන්න; කලාප කාර්යාලවලට උපදෙස්

0
0

ඉදිරියේදී අනධ්‍යයන සේවක වර්ජනයක් පවතින බවට අධ්‍යාපන ඇමැතිවරයා සමග පැවති සාකච්ඡාවකදී දැනුම් දුන් බැවින් පාසල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් සිසු – සිසුවියන්ගේ හා පාසල් පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමටත් මවුපියන්ගේ සහාය ලබා ගන්නා ලෙසට දිවයිනේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සියලු ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

අධ්‍යාපන ඇමැතිවරයා සහ පළාත් නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ 2024/06/14 පැවැත්වූ රැස්වීමකදී ලැබුණු උපදෙස් මත මෙම තීරණය ගත් බව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුම් දී ඇත.

පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම මැයෙන් යොමුකළ ලිපියක් මඟින් මෙම උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ ඉදිරි දිනවලදී අනධ්‍යයන සේවකයන් සේවයට වාර්තා නොකිරීමේ තත්ත්වයක් පවතින බැවින් පාසල් පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර, අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට ඊයේ (18දා) ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ කිසිදු මුදලක් වැය නොකර අනධ්‍යයන සේවක ගැටලු විසඳිය හැකි බවත් ලබන 24 වැනිදා වන විට විසඳුමක් නොලැබුණහොත් 24 හා 25 දිනවල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බවත්ය.

වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත දෙදින තුළ පාසල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් පාසල් සිසු සිසුවියන්ගේ හා පාසල් පරිශ්‍රවල ආරක්ෂාවට මවුපියන් ගෙන්වා ගැනීමට උපදෙස් ලබා දී ඇත්තේ අනධ්‍යයන සේවක ප්‍රශ්නයට විසඳුම් නොසොයා තාවකාලික පැලැස්තර දැමීමට බවත් එය ප්‍රශ්නය සමනය කිරීමක් නොව තව තවත් තීව්‍ර කරන්නක් බවත් සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න ලිපිය මගින් අවධාරණය කර ඇත.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලු විසඳන ලෙසට ලිඛිත හා වාචික ක්‍රම මෙන්ම සාකච්ඡා මාර්ගයෙන් සිදුකළ පැහැදිලි කිරීම් ඉවත දමා අධ්‍යාපන අමාත්‍යාංශය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට විරෝධය පළ කරන බව ද හෙතෙම සඳහන් කරයි.

මේ අතර, පාසල් අනධ්‍යයන සේවක ගැටලුවලට දින 14ක් ඇතුළත විසඳුම් ලබාදෙන ලෙසත් එම කාලයෙන් අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවන බවට පසුගිය 10 වන දා අධ්‍යාපන ඇමතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට හා සියලුම පළාත් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන් බව ද ප්‍රධාන ලේකම්වරයා පවසයි.

එම ලිපිය යොමුකර මේ වනවිට දින 9ක් ගතවී තිබෙන බව ත් මේ දක්වා බලධාරීන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගයකට දැන දැනම අත වැනීමක් සිදුවන බව ත් එහි දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here