29
බංග්ලාදේශයේ ප්‍රධානතම විදේශ විනිමය උත්පාදනය කරන ඇඟලුම් ක්ෂේත්රයේ අර්බුදයකට ද පසුගිය සඳුදා සිට රජය මුහුණ පා සිටින බව වාර්තා වේ. මේ තත්ත්වය උද්ගත වූයේ පසුගිය සඳුදා ඩකා අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා රැසක වැඩ වර්ජනයක් ආරම්භ වීමත් සමඟ බව වාර්තා වේ.
වැටුප් වර්ධක, ප්‍රසාද දීමනා සහ පැමිණීමේ දීමනා ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කරමින් ඇඟළුම් සේවක සේවිකාවන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් බංග්ලාදේශයේ ඩැකා අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල ඇඟලුම් ආයතන 79ක් පෙරේදා වසා දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එදින උදෑසන කාලයේ සේවයේ නිරතව සිටි ඇතැම් ඇඟලුම් ආයතනවල සේවක සේවිකාවන් ද දිවා කාලයේ සිට වැඩ වර්ජනයට එක්වීමෙන් තත්ත්වය බරපතළ වූ බවත්, ඇඟලුම් ආයතනවලට ආරක්ෂාව සැපයීමට හමුදාව කැඳවීමට සිදුවූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
සේවක ඉල්ලීම් ඇඟලුම් ආයතනවල පරිපාලනය සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව ඇති බැවින් එරට ඇඟලුම් ක්ෂේත්රය අස්ථාවර කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන බව කියන වැඩ වර්ජනයට වගකිව යුතු පාර්ශ්ව හඳුනා ගැනීමට කටයුතු කරන බව ඇඟලුම් ආයතනවල ආරක්ෂාවට යොදවා ඇති හමුදා කණ්ඩායමේ ප්‍රධානියකු ප්‍රකාශ කර තිබේ. බුද්ධි අංශ තොරතුරු මත විමර්ශන කටයුතු සිදු කිරීමටත්, සේවක නොසන්සුන්තාව පිටුපස සිටින පුද්ගලයන් සහ කණ්ඩායම් හඳුනා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් හමුදා ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එසේ වුවද ඇඟලුම් ක්ෂේත්රයේ වැඩ වර්ජනය ඊයේ වනවිට තවත් බරපතළ වී ඇති අතර, සේවක ඉල්ලීම් ඉටු නොවීම හේතුවෙන් ඊයේ තවත් ඇඟලුම් කර්මාන්තශාලා 40ක් වසා දමා ඇතැයි වාර්තා වේ. මීට අමතරව තවත් ඇඟලුම් කර්මාන්තශාලා 21ක වැඩ වර්ජනයක් ආරම්භ වීමේ අවදානම මත ඊයේ එම ඇඟලුම් කර්මාන්තශාලාවලට නිවාඩු ලබාදීමට හිමිකරුවන් පියවර ගෙන තිබූ බවත් වාර්තා වේ.