26
වසර 2025 ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවට ඇතුළත් වීම සඳහා නේපාලයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වයට මහනුවර ක්රීඩා සමාජයේ තරින්ද රත්වත්ත නම් කර ඇතැයි වාර්තා වේ.
සුදත් සම්පත් මහතාගේ ප්රධානත්වයෙන් යුතු ජාතික රග්බි තේරීම් කමිටුව මේ ක්රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගෙන ඇති අතර, ක්රීඩකයන් 12 දෙනාගේ අවසන් සංචිතය ඉදිරියේදී නම් කෙරෙන බව ද වාර්තා වේ.
ජාතික රග්බි සංචිතයට තරින්ද ඇතුළු මහනුවර ක්රීඩා සමාජයේ ක්රීඩකයන් පස්දෙනකු ඇතුළත් වන අතර, පොලිස් ක්රීඩා සමාජයෙන් ක්රීඩකයන් සිව්දෙනෙක්, ශ්රී ලංකා යුද හමුදා ක්රීඩා සමාජයෙන් ක්රීඩකයෝ දෙදෙනෙක් ඊට ඇතුළත් වෙති. සීඑච් ඇන්ඩ් එෆ්.සී. ක්රීඩා සමාජයෙන්, ගුවන් හමුදා ක්රීඩා සමාජයෙන් සහ හැව්ලොක් ක්රීඩා සමාජයෙන් එක් ක්රීඩකයකු බැගින් ද සංචිතයට ඇතුළත් බව වාර්තා වේ. මීට අමතරව ඉසිපතන විදුහලේ ෂාහිද් සුම්රි ද ජාතික සංචිතයට ඇතුළත් වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ලබන ඔක්තෝබර් මස 4 සහ 5 දෙදින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීමට ලබන 3 වැනිදා පෙරවරුවේ නේපාලය බලා පිටත්වන ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස නිල්ෆර් ඉබ්රාහිම් මහතා කටයුතු කරයි. කපිල නෝල්ටන් මහතා කළමනාකරු ලෙස සංචාරයට එක්වීමට නියමිතය.
ශ්රී ලංකා රග්බි 15 දෙනාගේ සංචිතය: තරින්ද රත්වත්ත (නායක), ශ්රීනාත් සූරියබණ්ඩාර, හේෂාන් ජැන්සේන්, කවිඳු පෙරේරා, ඩිලාන් ඒකනායක (මහනුවර ක්රීඩා සමාජය), ආකාශ් මධුසංඛ, යොමාල් සාරංග, සචිත් සිල්වා, හිරන්ත පෙරේරා (පොලිස් ක්රීඩා සමාජය), සුදාරක දික්කුඹුර, අෂාන් බණ්ඩාර (යුද හමුදා ක්රීඩා සමාජය), ජනිඳු ඩිල්ෂාන් (සීඑච් ඇන්ඩ් එෆ්සී ක්රීඩා සමාජය), දර්ශන දාබරේ (ගුවන් හමුදා ක්රීඩා සමාජය), දිනූක සෙනෙවිරත්න (හැව්ලොක් ක්රීඩා සමාජය) ෂාහිද් සුම්රි (ඉසිපතන විදුහල).
ෆවුස් මොහොමඩ්