46
එංගලන්තයේ ලින්කන්ෂයර් ගම්මානයේ කාන්තාවක් රැකියාවක් සඳහා යොමු කළ අයැදුම්පතක් වසර 48කට පසු නැවත ඇයටම ලැබීමේ විස්මිත පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට 70 හැවිරිදි වියෙහි පසුවන ටිසී හොඩ්සන් නමැති එම කාන්තාවට ලැබී ඇත්තේ ‘ස්ටන්ට්‘ ත්‍රාසජනක යතුරුපැදි ධාවකයන් ඉල්ලා එක්තරා සමාගමක් පළ කර තිබූ දැන්වීමකට අනුව 1976 ජනවාරියේ එවකට 22 හැවිරිදි වියෙහි පසුවූ ඇය විසින් තැපැල් කරනු ලැබූ අයැදුම්පත්රයකි. එම අයැදුම්පත එම සමාගම වෙත යොමුවී නැති අතර, දශක ගණනාවක් පුරා අදාළ තැපැල් කාර්යාලයේ සිරවී තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
රාක්කයක් පසුපස තිබී එම තැපැල් කාර්යාලයේ වත්මන් නිලධාරින් විසින් එය සොයා ගත් බවට අත්අකුරින් ලියන ලද සටහනක් සහිතව පසුගියදා නැවත ලැබීමෙන් ඇය විමතියට පත්වී ඇතැයි ද වාර්තා වේ. එම ලිපිය නැවත ලැබුණු ආකාරය පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, පසුගිය දශක 5කට ආසන්න කාලය තුළ තමා නිවාස 50ක පමණ පදිංචිව සිටි බවත් ටිසී හොඩ්සන් ප්‍රකාශ කර තිබේ. ‘මම ගෙවල් මාරු කළා විතරක් නෙවෙයි රටවල් හතරක හෝ පහක පමණ කාලයෙන් කාලයට පදිංචිව සිටියා. මේ නම් අදහගන්න බැරි සිදුවීමක්‘ ටිසී හොඩ්සන් එසේ ප්‍රකාශ කර ඇත.
කෙසේවුවද අදාළ රැකියාව නොලැබීමෙන් ටිසී හොඩ්සන්ට කිසිදු පාඩුවක් සිදුවී නැති අතර, පසුකාලීනව ඇය ත්‍රාසජනක රැකියා අවස්ථා කිහිපයක්ම අත්කර ගැනීමට සමත්වූ බව වාර්තා වේ. දකුණු අප්‍රිකාවේදී සර්පයන් ඇල්ලීමේ සහ අශ්වයන් හීලෑ කිරිමේ රැකියාවක් ද, ගුවන් නියමුවරියක ලෙස පුහුණුව ලබා නියමු උපදේශිකාවක් ලෙස ද විවිධ රැකියාවල ඇය නිරතව සිටි බව වාර්තා වේ.