ශ්‍රී ලංකාව තුළ ආන්දෝලනයට තුඩු දුන් ජාතික තලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා සාකච්ඡාවක් ඊයේ (ඔක්. 3) පවත්වා තිබේ.
ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම් රවී සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පොලිස් මුලස්ථානයේදී ය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ පිළිබඳව නිවේදනය කළේ ය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙහි දී දැනට සිදු කර ගෙන යන විමර්ශන මොනවා ද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන වේ නම් ඒවා මොනවා ද, එසේ නැවතීමට දේශපාලනික හේතු බලපෑ තිබේ ද, එමෙන් ම, අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විමර්ශන, අලුතෙන් ආරම්භ කළ යුතු විමර්ශන තිබේ නම් ඒවා මොනවා ද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමු කළ බව ය.
එසේ ම, යම් යම් විමර්ශන සඳහා බලපෑම් සිදු වී තිබේ ද, එසේ නොමැතිනම් ප්‍රමාද වීමට හේතු මොනවා ද යන්න පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කර ඇත.
අදාළ කරුණු පිළිබඳව වාර්තාවක් සකස් කර ඉදිරි විමර්ශන සිදු කරන බව ත් මෙහි දී වැදගත් වූ විමර්ශන රාශියක් පිළිබඳව අවධානය යොමු කරන බව ත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.
මෙම සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පහි ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ද සහභාගී වී ඇත.