සොරාගත් වත්කම් නැවත අයකර ගැනීමට ජාතික ජන බලවේගය දුන් ප්රමුඛ මැතිවරණ පොරොන්දුව අනුව ඒ සඳහා වූ විශේෂ පනතක් මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිත යැයි රජයේ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුව එහි මූලික කෙටුම්පත සකසා ඇතැයි ද ‘අපරාධයකින් උත්පාදිත දෑ පිළිබඳ පනත’ (Proceeds of crime) මැයෙන් එය නම් කෙරෙනු ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.
සොරාගත් වත්කම් නැවත අයකර ගැනීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමේදී පැවැති නීතියේ අඩුපාඩු ආණ්ඩුව දැඩිව නිරීක්ෂණයට ලක්කළේ යැයි ද නව නීති සම්පාදනයට කටයුතු කෙරුණේ ඒ අනුව යැයි ද ඔහු පැවැසීය.
යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යටතේ දැනට ක්‍රියාත්මක වන්නේ යැයි ද දූෂණ හා වංචා ගැන පවතින නීති යටතේ කළ හැකි විමර්ශන එමගින් සිදුවන්නේ යැයි ද එම ප්‍රකාශකයා කීවේය.
රජයේ ප්‍රකාශකයා වැඩිදුරට ත් සඳහන් කළේ, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAC) සහ අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සකස් කරනු ලැබ ඇති මුදල් විශුද්ධිකරණයට එරෙහි ප්‍රතිපත්ති සහ වත්කම් නැවත අත්කරගැනීම සඳහා වූ ගෝලීය ප්‍රමිති යටතේ දියුණු විමර්ශනයන්ට නව පනත මගින් අවස්ථාව උදාවනු ඇති බව ය.