16
සමන් ජයන්තගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් අවුරුදු 50න් ඉහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (IMC OVER-50s WORLD CUP 2025) නවසීලන්තය සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 50න් ඉහළ කණ්ඩායම සමත් විය.
මූලික වටයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකා පිල ඊයේ නවසීලන්තයට එරෙහිව පිටියට පිවිසි අතර, එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 224කට සීමා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 29.5කදී ජය තහවුරු කරගත්තේ කඩුලු 2ක් පමණක් දැවී තිබියදීය.
ඉනිමට වේගවත් ආරම්භයක් දුන් සමන් ජයන්ත පන්දු 82කින් ලකුණු 114ක් රැස් කළේ හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් ද සමඟිනි. මුළු ලකුණු 94දී රසල් ඉන්ග්රෑම් (25) දැවී යෑමෙන් පසු පිටියට පිවිසි රුවින් පීරිස් දෙවැනි කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් ගොඩනැඟීය. සමන් දෙවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 182දී දැවී ගිය අතර, රුවින් පන්දු 50කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 64ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ජෝන් ගැරී ලකුණු 51ක් රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, පන්දු යැවීමේදී සමන් ජයන්ත කඩුලු 3ක් දවා ගත්තේය.
මේ ජය සමඟ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් මූලික වටය නිමා කළේය. ශ්‍රී ලංකා පිල හෙට (20) ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින ඔස්ට්‍රේලියාව සමඟින් අවසන් පූර්ව වටයේ තරගයට එක්වීමට නියමිතය.
නිරෝෂාන් ප්‍රියංකර