11
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව තවදුරටත් පන්දු යවන්නන් අතර පෙරමුණ රැක ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත් වෙද්දී චැම්පියන්ස් කුසලාන ශූරයන් වූ ඉන්දීය පිලේ විරාත් කෝලි අබිබවා යෑමට එම කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සමත්ව තිබේ.
චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී දැක්වූ දස්කම් මත මේ නව ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇති අතර, ශ්‍රී ලංකාව එම තරගාවලියට එක් නොවුවද තීක්ෂණ (680) අබිබවා යෑමට සෙසු පන්දු යවන්නන්ට අවස්ථාවක් ලැබී නැත.
කෙසේ වෙතත් එම තරගාවලියේ අනුශූරයන් වූ නවසීලන්ත පිල නියෝජනය කළ මිචෙල් සැන්ට්නර් පන්දු යවන්නන් අතර ස්ථාන 6ක් ඉදිරියට ඒමට සමත්ව ඇත. තරග 5කදී කඩුලු 9ක් දවාගෙන ඇති ඔහු එක්දින පන්දු යවන්නන් අතර දෙවැනි තැනට පත්ව ඇති අතර, ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 657කි. ශූරතාව දිනූ ඉන්දීය පිලේ කුල්දීප් යාදව් (650) තරග 5කදී කඩුලු 7ක් බිඳ දමමින් දැක්වූ දස්කම් මත ශ්‍රේණිගත ස්ථාන 3ක් ඉදිරියට පැමිණ ඇත. වනිඳු හසරංග (572) 17 වැනි තැනම සිටී.
මේ අතර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලදී පිළිවෙළින් ශුබ්මන් ගිල් සහ බාබර් අසාම් පළමු සහ දෙවැනි ස්ථාන රැක ගැනීමට සමත්ව ඇති අතර, සිවුවැනි තැන සිටි විරාට් කෝලි පසුකරමින් 5 වැනි තැන සිටි රෝහිත් ෂර්මා ස්ථාන 2ක් ඉදිරියට යෑමට සමත්ව තිබේ.
ඔහු මේ වන විට තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, කෝලි ස්ථානයක් පහත බසිමින් 5 වැනි තැනට වැටී තිබේ.
චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී කෝලි තරග 5කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 218ක් රැස් කළ අතර, ෂර්මා තරග 5කදී ලකුණු 180ක් රැස් කර ඇත්තේ එක් අර්ධ ශතකයක් සමඟිනි. ශ්‍රී ලංකා සීමිත ඕවර නායක චරිත් අසලංක (694) 9 වැනි තැනම සිටින අතර, පැතුම් නිස්සංක 13 වැනි තැන සිට 15 වැනි ස්ථානය දක්වා පහත බැස තිබේ.
නිරෝෂාන් ප්‍රියංකර