20
අන්තර් පාසල් පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පෙර තරග වටය නිමාවට පත් කරමින් ඉසිපතන, සාන්ත පීතර, කොළඹ රාජකීය, ත්‍රිත්ව, සහිරා, සාන්ත තෝමස්, ඩීඑස් සේනානායක සහ වෙස්ලි විදුහල් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.
පාසල් රග්බි තරග වාරයේ ඉතිහාසය වෙනස් කරමින් ප්‍රබලතම කණ්ඩායම් රඳවා තබා ගනිමින් තරගකාරීත්වය ආරක්ෂා කරගැනීම අරමුණ ඇතිව ලීග් තරගාවලියට පෙර ආරම්භ කළ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේ ඊයේ පැවති තරගවලදී තර්ස්ටන් පිලට එරෙහිව ලකුණු 51-8 ක ජයක් වාර්තා කිරීමට සාන්ත පීතර විදුහල් පිල සමත්වූ අතර, කිංග්ස්වුඩ් විදුහල් පිලට එරෙහිව ලකුණු 28-24ක ජයක් අත්කර ගැනීමට කොළඹ රාජකීය විදුහල් පිල සමත් විය.
පසුගිය සිකුරාදා ආරම්භ වූ මේ තරගාවලියේදී විද්‍යා විද්‍යාලය ලකුණු 59-35කින් පරාජය කිරිමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් වූ අතර, ත්‍රිත්ව විදුහල් පිල හමුවේ සාන්ත අන්තෝනි පිල ලකුණු 62-5කින් පරාජයට පත්විය. මේ අතර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 16-12ක ජයක් සහිරා විදුහලටත්, මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 61-0ක ජයක් ඉසිපතන විදුහල් පිලටත් හිමි විය. සාන්ත ජෝසප් විදුහල් පිල ලකුණු 36-23කින් පරාජය කිරීමට වෙස්ලි විදුහල් පිල සමත්වූ අතර, ධර්මරාජ විදුහල් පිලට එරෙහිව ඩීඑස් සේනානායක විදුහලට ලකුණු 48-29ක ජයක් අත්විය.
ඒ අනුව පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේ තරග ඊයේ නිමාවට පත්වූ අතර, අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලබන මැයි මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග පෙළගැස්ම මෙසේය.
මැයි 3: සාන්ත පීතර – සහිරා (රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී), ත්‍රිත්ව – සාන්ත තෝමස් (හැව්ලොක් පිටියේදී)
මැයි 4: රාජකීය – ඩීඑස් (හැව්ලොක් පිටියේදී), ඉසිපතන – වෙස්ලි (රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී)
ෆවුස් මොහොමඩ්