නීතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුව අධීක්ෂණය කරනු ලබන අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා විසින් රහස් පොලීසිය වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.
2013 වසරේදී සිදුවූ මෙම ගනුදෙනුවේදී, අදාළ යුරෝපීය ගුවන් සමාගමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබාගත් බව කියන අදාළ අල්ලස් මුදල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
2014/2015 කාලසීමාව තුළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මෙම මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබිණි.
මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිද්දී, ඔහු සිය මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් සිටියදී පසුගියදා හමුවිය.
එමෙන්ම සිද්ධියේ තවත් සැකකාරියක ලෙස නම් කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි විජේනායක මහත්මිය මේ වන විට විදේශගතව සිටින බැවින්, අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ උපදෙස් මත ඇයට එරෙහිව අවශ්‍ය ඉදිරි නෛතික පියවර ගැනීමට ද රහස් පොලීසිය කටයුතු කරමින් සිටී.







