ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද ගිණුම හිමිකරුගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බවද මධ්‍යම විමර්ශන කාර්යාංශය අධිකරණය හමුවේ සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවද මධ්‍යම විමර්ශන කාර්යාංශය වෙනුවෙන් කරුණු දැක්වූ පොලිස් නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කරමින් රුපියල් කෝටි 22කට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩ කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අධිකරණය හමුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මධ්‍යම විමර්ශන කාර්යාංශය මේ බව දැනුම්දුන්නේය. එහිදී සැකකරු සම්බන්ධයෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් ලබන 7 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
සැකකාර සුගීෂ්වර බණ්ඩාර යන අයගේ ගිණුමට අවස්ථා හතරකදී රුපියල් ලක්ෂ 50ක මුදලක් බැර වී ඇතැයිද අවස්ථා 79කදී රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයකට අධික මුදලක් බැර වී ඇතැයිද මධ්‍යම විමර්ශන කාර්යාංශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය. මේ වනවිට විශේෂ ව්‍යාපෘති සාමාජිකයන් ගණනාවකගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් තවත් ප්‍රකාශ 50කට අධික ප්‍රමාණයක් සටහන් කිරීමට ඇති බවත් කී පොලීසිය විමර්ශන අවසන් නැතැයිද කියා සිටියේය. “හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස වැටුප්වලට අදාළ මුදල් බැර වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සොහොයුරියකගේ පුතකුගේ ගිණුමට බව විමර්ශන අනාවරණය කළා. ඒ බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ අනාවරණය කර තිබෙනවා. එම මුදල් ගොනු කළ ගිණුම හිමිකරුගේ ප්‍රකාශ දෙකක් ලබා ගත්තා. එක් ප්‍රකාශයක මුදල්වලින් භාගයක් ලැබුණු බවත් අනෙක් ප්‍රකාශයේ කිසිදු මුදලක් නොලද බවත් කියා තිබෙනවා. ඊට අදාළ වැඩිදුර විමර්ශන කරනවා” යැයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.
වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය විමර්ශන ප්‍රගතිය මෙසේ දන්වා සිටියේය.
“ස්වාමීනි, මොහු ගොනුකර තිබූ ඇප අයැදුම්පත ඉහළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස මොහු වැටුප් ලබාගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළා. එම මුදල් බැර වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අක්කාගේ පුතකුට බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලබා ගත් ප්‍රකාශ අනාවරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් විමර්ශන කළා. පළමු ප්රකාශයේදී මුදල් කොටසක් ලැබූ බවට ඔහු ප්‍රකාශ කළත් දෙවැනි ප්රකාශයේදී මුදල් කිසිවක් ලැබුණේ නැති බවට ප්‍රකාශ ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ජනාධිපතිවරයකුට ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා.”
එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු බවය.
“ස්වාමීනි ගෝඨාභය රාජපක්ෂ මහතා මොහුට ගෙවීමක් නොකළ බවට ප්‍රකාශ කළ ද විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂවරයා ලෙස මොහු යටතේ 135ක් පමණ සේවය කර තිබෙනවා. අධ්යක්ෂවරුන් විසි දෙකක් එහි සේවය කර තිබෙන අතර එම ව්‍යාපෘතිය යටතේ කර ඇත්තේ දේශපාලනය ප්‍රවර්ධනය කිරීම පමණක් බවට විමර්ශන අනාවරණය කර තිබෙනවා. එම කටයුතු කරමින් ඔහු මුදල් රුපියල් කෝටි 22ක අධික මුදලක් ලබාගෙන තිබෙනවා.”
සැකකරු වෙනුවෙන් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ සැකකරු වැටුප් දෙකක් ලබාගෙන නැති බවය.
“මෙම විමර්ශනය ආරම්භ කළේම වැටුප් දෙකක් ලබාගෙන ඇති බවට චෝදනා ගොනු කරමින්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශවලින් අනාවරණය වී තිබෙනවා ඔහු වැටුප් දෙකක් ලබා නොගත් බවට. ඔහුගේ ගිණුමට එම මුදල් ලැබී නැති බවටත් විමර්ශනය කර තිබෙනවා” යැයි අධිකරණය හමුවේ නීතිඥවරයා දන්වා සිටියේය.
නඩුව කැඳවූ අවස්ථාවේ බන්ධනාගාරය විසින් සැකකාර සුගීෂ්වර බණ්ඩාර යන අය විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.







