Home Politics News Room : මහජන උපයෝගිතා කොමිසමේ සභාපති විදුලිබල මණ්ඩලයේ දියුණුවට කිසි වැඩක්...

News Room : මහජන උපයෝගිතා කොමිසමේ සභාපති විදුලිබල මණ්ඩලයේ දියුණුවට කිසි වැඩක් කළේ නැහැ

2
0

දේශපාලනය විතරයි කළේ

මැති ජීවන් තොණ්ඩමන්

මහජන උපයෝගිතා කොමිසම් සභාවේ සභාපතිවරයා කොමිසම තුළ සිටිමින් දේශපාලනයේ යෙදෙන බව ජල සම්පාදන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳ විවාදයේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

වත්මන් සභාපතිවරයාගෙන් විදුලිබල මණ්ඩලයට කිසිදු දායකත්වයක් ලැබෙන්නේ නැහැ. කොමිසමට අවශ්‍ය වන්නේ ස්වාධීන සභාපතිවරයෙක්.

සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා කොමිසම විසුරුවා හරින්නයි හදන්නේ කියලා. එය අසත්‍ය ප්‍රකාශයක්. එහෙම දේවල් කීමෙන් සිදු වන්නේ මිනිසුන්ගේ හිතට යන්නේ වැරැදි දේවල්. රට සම්පූර්ණයෙන්ම ආරාජික තත්ත්වයකයි තිබුණේ. වත්මන් ජනාධිපතිවරයා අමාරු තීරණ අරගෙනයි රට යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින්නේ. විදුලිබල මණ්ඩලය 2014 වසරේ සිට පාඩු ලබමින් තමයි තිබුණේ. එහිදි සභාපතිවරයාට තිබුණා එය වළක්වා ගන්න. අවශ්‍ය කටයුතු කරන්න. එහෙත් ඔහු ඒ දේ කරන්නේ නැතුව දේශපාලනය විතරයි කළේ.


ජනකගේ ප්‍රධාන ඉලක්කය වූයේ පැය 24ම රට අඳුරේ තබන්නයි

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක නම් වූ පුද්ගලයාගේ ප්‍රධාන ඉලක්කය වූයේ මේ රට පැය 12ක් අඳුරේ තැබීම නොව පැය 24ම රට අඳුරේ තැබීම බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසුවේය.

මහජන උපයෝගිතා කොමිසම් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා වූ විවාදයට සහභාගි වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

මෙම විවාදයේ දී සිදු කරනුයේ ජනක රත්නායක කියන පුද්ගලයා ඉවත් කිරීමම පමණක් නොව මෙරට ආර්ථික වැඩපිළිවෙළ කඩාකප්පල් කරන පුද්ගලයන්ව ඉවත් කිරීමටයි. ජනක රත්නායක මහතාට පක්ෂපාතීව ඔහු වෙනුවෙන් අදහස් දක්වන සියලුදෙනා ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත කඩාකප්පල් කිරීම සඳහා ඔහුගේ එම ඉලක්ක සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දෙන අයයි. කවුරු හෝ කියන්නේ ජනක රත්නායක ඉවත් කරන්න.මේ සිදු කරන්නේ මෙරට ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ කඩාකප්පල් කරන පුද්ගලයෙක් ඉවත් කිරීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම මත රටේ ආර්ථිකය තරමක් හෝ යථාවත් කර ගැනීමට හැකි වී තිබෙනවා.ජනක රත්නායක කියන පුද්ගලයා මෙහෙය වීම සිදු කරනුයේ විපක්ෂය බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුයි.

ආර්ථිකයක් කඩා වැටී ජනතාව දුෂ්කරතාවට පත් වන්නේ නම් එහි වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි. නැවත රට යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම ද ආණ්ඩුව භාර ගත යුතුයි. ආර්ථික ප්‍රතිසංස්කරණවලින්ම පමණක් රට යථා තත්ත්වයට පත් කළ නොහැකියි. ආර්ථික ප්‍රතිස්සංකරණ කරන විට දේශපාලන අරමුණු මුල් කර ගනිමින් කිසියම් පුද්ගලයකු මේ වැඩපිළිවෙළට විරුද්ධව කටයුතු කරන්නේ නම් ඔවුන් ඉවත් කිරීම කළ යුතුයි.


කොමිසමේ සභාපතිට ආණ්ඩුවේ තීන්දුවලට එරෙහි වන්න බැහැ

මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට පක්ෂව මා ඡන්දය ලබාදෙන අතර එය සිදු කරනුයේ අන් කිසිවක් උදෙසා නොව ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසුවේය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

තවදුරටත් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට ආණ්ඩුවේ තීන්දුවලට එරෙහි වීමට හැකියාවක් නැහැ. එය මාගේ තර්කයයි. එසේ කරන්නේ නම් මුදල් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔහු ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කළ යුතුයි. කොමිෂන් සභාවේ වගකීම විය යුත්තේ විදුලිබල මණ්ඩලයත් ආරක්ෂා කර ගනිමින්, විදුලිය සම්බන්ධයෙන් සාධාරණ මිලක් ඉදිරිපත් කිරිමයි.

විදුලිබල මණ්ඩලයට සහන ලබාදීම ආණ්ඩුවෙන් මෙතෙක් කල් සිදු කිරීම නිසා ආයතනය කඩා වැටීමට ලක් වුණා. විදුලි බිල ගෙවිය නොහැකි යම් පවුලක් වේ නම් ඒ පවුලට සහනාධාර ආණ්ඩුවෙන් ලබාදීම සිදු කරනවා මිස ආයතනයට හෝ මණ්ඩලයට සහන ලබාදීම නොකළ යුතුයි.

කොමිෂන් සභාවක් සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇති වුවහොත් සභාපතිවරයා ගැටුමකට නොයා යුතුයි. එම තනතුරට ඔහු නුසුදුසු වන්නේ නම් ඉල්ලා අස්විය යුතුයි.

රුසියානු අර්බුදය නිසා ලෝකයේම ආර්ථිකයේ කඩා වැටීමක් සිදුව තිබෙනවා. ඇඟලුම් කර්මාන්තය කඩා වැටී තිබෙනවා.

ඇමරිකාව පවා අද වන විට අර්බුදයට ලක්ව තිබෙනවා. කංචන විජේසේකර මහතා මෙම ගැටලුව හොඳින් තේරුම් ගෙන තිබෙනවා. විදුලිය නිෂ්පාදනය කරන මුදලට අඩුවෙන් අලෙවි කිරීමට ඉඩ නොදිය යුතුයි. ඉන් තැළෙන පොඩිවෙන කණ්ඩායමක් සිටින්නේ නම් ඒ කණ්ඩායමට රජයෙන් සහන දිය යුතුයි.

 


සභාපති ඉවත් කිරීම පුද්ගල ගැටලුවකට වඩා ව්‍යුහය පිළිබඳ ගැටලුවක්

මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

මහජන උපයෝගිතා කොමිසම් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම පිළිබඳ පවතින ගැටලුව පුද්ගලයන් ඉවත් කිරීම සම්බන්ධ ගැටලුවක් නොව ව්‍යූහය සම්බන්ධ ගැටලුවක් බව පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කෙළේය. මහජන උපයෝගිතා කොමිසම් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම පිළිබඳ පැවැති විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසුවේය.

තවදුරටත් ඒ මහතා මේ බව පැවසීය.

ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයකු ඉවත් කිරීමේ පටිපාටිය සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කර ගත යුතුයි. මෙම සභාපතිවරයා ඉවත් කරන සිද්ධියේ දී මෙරට පාර්ලිමේන්තුව තුළ ව්‍යුහාත්මක ගැටලුවක් එමඟින් මතු කරනවා. මෙම ව්‍යුහාත්මක ගැටලුව 113ක බහුතරය පෙන්වා වසා දැමිය හැකි වුවත් මෙරට ප්‍රජාතාන්ත්‍රීය ආකෘතිය පිළිබඳ පවතින ගැටලුව ඉස්මතු වෙනවා.

ව්‍යවස්ථාදායකය හා විධායකය අතර පාලමක් පවතින බවත් ව්‍යවස්ථාදයකය තුළ මුදල් ඇමැතිවරයා ඇතුළු අනෙකුත් ඇමැතිවරුන් සිටින අතර එය විධායකයේ කොටසක්. මේ සභාපතිවරයාගේ ගැටලුවක් ඇති බවට අවශ්‍ය නම් විධායකයට කිව හැකියි. මේ සභාපතිවරයා ඉවත් කිරීමට විධායකයට අවශ්‍යතාවක් තිබුණත් ඔහු ඉවත් කරනුයේ ව්‍යවස්ථාදායකය සමඟ එක්ව නම් එම ඉවත් කිරීමේ ක්‍රමවේදය තුළට ස්ථාවර නියෝග මත සිට කටයුතු කිරීම ගැටලුවක්.


ජනකගේ කට වැඩි හින්දා මම ඡන්දය දුන්නේ නැහැ

මන්ත්‍රී කුමාර වෙල්ගම

ජනක රත්නායක මහතාට සහාය පළ කිරීමට මාත් සිටිය ද, ඔහුට මුල් පුටුවට යෑමට ජනතාව කතා කරන බවට කළ ප්‍රකාශයත් සමඟ එම තීරණය වෙනස් කර ගත් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳ විවාදයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඒ මහතා මෙසේ පැවසීය.

ඔහුගේ කට නිසා ඡන්දය නොදෙන්න තීරණය කළා. තරුණ කංචන ඇමැතිවරයාට සුබ පතනවා. එහෙත් වැඩි කල් යන්න පෙර ජනතාව වෙනුවෙන් විදුලි බිල අඩු නොකොළහොත් මේ කටින්ම ඔහුට කෑගසනවා.

මේක ස්වාධීන කොමිසමක් නොවෙයි. මේක දේශපාලන පත්වීමක්. ස්වාධීන පත්වීමක් කියන්නේ කවුරු හරි පිටින් එන්න ඕනෑ. කාගෙවත් දේශපාලන බලපෑමක් නැතුව. එතුමා උසස් පෙළ දරුවන්ට විදුලිය දෙන්න කතා කිරීම ඉතාම හොඳයි. අපි එය අගය කරනවා. නමුත් විදුලිබල ඇමැතිවරයා දුන්නේ නැහැ. උසස් පෙළ ඉවර වුණාම විදුලිය දුන්නා. ජනක රත්නායක මහත්මයාගේ කට වැඩියි. අනවශ්‍ය විදියට කතා කරනවා. දේශපාලන පත්වීමක් නම් සංවර වෙන්න ඕනෑ. එතුමා කියනවා මම පාරේ බැහැල යන කොට මිනිස්සු කියනවලු ජනාධිපතිවරණයට එන්න කියලා. ඊයේ ටීවී එකේ එහෙම එකක් ගියා. එතුමා මේ කරන්නේ ඉහළ පුටුවකට යන්න. ඉස්සර අපි තරුණ කාලේ පොලිසියත් එක්ක ගහ ගන්නවා. කුමාර මහත්මයා පොලිසියට ගැහුවා කියලා නම යනවා. ඒක තමයි පසුබිම. මෙයත් ඒක තමයි කරන්නේ. මම ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයට ජනාධිපති වෙන්න ඡන්දය දුන්න කෙනෙක් මම. 134න් එකෙක්. විපක්ෂ නායකවරයා එපා යැයි කියද්දි මම දුන්නා. මම අය වැයටත් දුන්නා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා වැරැද්දක් කරනවා. එතුමා ජනාධිපති කියලා මේ රටේ ණය ගත්ත ව්‍යාපාරිකයන් 10කගේ ණය කපා හැරලා.

විදුලිබල මණ්ඩලයට තරුණ හොඳ ඇමැති වරයෙක් ඉන්නවා. එතුමාගේ පියත් අපි එක්ක දේශපාලනය කළ කෙනෙක්. එතුමාට අපි සහයෝගය දෙන්න ඕනෑ. සහයෝගය දුන්නොත් තමයි තරුණ මන්ත්‍රීවරුන්ට ඉහළට යන්න පුළුවන් වෙන්නේ. ෆොන්සේකා මහත්මයට තව කල් තියෙනවා. අපිට නැහැ. එතුමා තරුණයි. එතුමාට ලොකු පුටුවට යන්න පුළුවන්.

 


මහජන උපයෝගිතා කොමිසම කළ යුත්තේ විදුලිබල මණ්ඩලය සකස් කර එවන ගාස්තුව ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම නොවේ

මන්ත්‍රී විමල් වීරවංශ

මහජන උපයෝගිතා කොමිසම් සභාව ස්ථාපිත කර තිබෙන්නේ විදුලිබල මණ්ඩලයේ අය සකස් කර එවන ගාස්තුව ඒ අයුරින්ම ප්‍රකාශ කිරීමට නොවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳ විවාදයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

ඒ විදියට පිළිගන්න නම් මහජන උපයෝගිතා කොමිසම් සභාවක් අවශ්‍ය නැහැ. එහෙම නම් එම ආයතනය අහෝසි කර විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි ගාස්තු සකස් කරන්න ඉඩ දෙන්න. මේ කොමිසම් සභාවේ සභාපතිවරයා විතර ද වැරැදි. අනෙක් සභාපතිවරු වැරැදි නැද්ද? මට ආණ්ඩුවේ ඉන්න සභාපතිවරු සියයට 70ක් ගැන මීට වැඩිය වැරැදි කියන්න පුළුවන්. හැබැයි ඒ කියන දේ අහගෙන, වෙන දේ බලාගෙන, ආණ්ඩුවේ දේවලුත් කරන නිසා ඒ අය හොඳයි. ජනක රත්නායක වැරැදියි.මෙය සත්භාවෙයෙන් ගත්ත තීරණයක් නොවෙයි. තමන්ගේ පාලන අධිකාරිය යන්න ගිය ක්‍රමවේදයට තර්ජනයක් හේතු කොට ගෙන ඔහු ඉවත් කරන්න තීරණය කරලා තිබෙන්නේ. කොමිසම් සභාවේ සභාපතිවරයා කියනවා විදුලිබල මණ්ඩලයේ තීරණ වැරැදියි කියලා. මීට වඩා අඩුවෙන් කරන්න පුළුවන් කියලා. එහෙම කියන නිසායි ඔහුව එළවන්න හදන්නේ. විදුලිබල මණ්ඩලය හදනවා අසාධාරණ මිල සංශෝධනයක්. පරණ ණය අය කර ගන්නත් එක්කයි ඒ සංශෝධනය ගෙනාවේ. විශාල ගෙවල් සංඛ්‍යාවක විදුලිය කපලා. මිනිස්සු ඉටි පන්දමට වට්ටලා. මේ යන විදිහට නැවත ගල් යුගයට යන්නේ. විදුලිය පරිභෝජනය කරන අතලොස්සයි මෙහෙම ගියාම ඉතිරි වන්නේ. ඉන්ධන, ගල්අඟුරු මිල පහළ ගිහින්, ජලය හොඳටම තිබෙනවා. එහෙම තියේද්දි සොච්චම් මුදලකින් විදුලිබිල අඩු කරන්න කටයුතු කරමින් ඉන්නවා.


විදේශ රටවල රැකියා කරන මිනිස්සු ගැන ප්‍රශ්නයක් ඇසූ විට වගකිවයුතු ආයතනවල තොරතුරු නැහැ

මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන

ලක්ෂ 12කට වඩා සිටින විදේශ රැකියා කරන ජනතාව ගැන ප්‍රශ්නයක් ඇසූ විට තොරතුරු නැත කියන්නේ නම් හෝ මහ බැංකුවෙන් විමසන්න කියන්නේ නම් ඒ වගකිව යුතු ආයතනවල රාජකාරිය කුමක් දැයි පත්කළ මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී (24) පැවැසීය.

විදේශ රැකියා කරන රට විරුවන් සම්බන්ධයෙන් විදේශ රැකියා ඇමැතිවරයාගෙන් විමසා තිබූ ප්‍රශ්නයකට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර දුන් පිළිතුර පිළිබඳ ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

වම් අත කරන දේ දකුණු අත දන්නේ නැත්නම් විදේශ සංචිත වැඩිකර ගැනීමේ වැඩසටහන සාර්ථක කරගන්නේ කෙසේ ද. අද විශේෂයෙන් රටේ පවතින ආර්ථික වාතාවරණය හමුවේ ඉතාම වැදගත්ම ක්ෂේත්‍රයක් වන රට විරුවන් සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. රාජ්‍ය ඇමැතිවරයා පිළිතුරු දීමට නැඟී සිටීම සම්බන්ධයෙන්. නමුත් එම අමාත්‍යාංශය මේ පිළිතුරු මහ බැංකුවෙන් ලබා ගන්න කියලා කියන උත්තරය නම් පිළිගන්න බෑ. එක්කෝ මහ බැංකුවෙන් පිළිතුරු ලබා දීලා නැතුව ඇති අමාත්‍යාංශයට. නැත්තම් අමාත්‍යාංශය ගාව මේ තොරතුරු නැතුව ඇති. වම් අත කරන දේ දකුණු අත දන්නේ නැතුව කොහොමද මේ විදේශ සංචිත වැඩි කර ගන්න වැඩසටහනට යන්නේ. සරල ප්‍රශ්න පෙළක් අහලා තියෙන්නේ. මේ ප්‍රශ්නය මම නැවත ඉල්ලා සිටිනවා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ අමාත්‍යාංශය හෝ ඔය කියන මහ බැංකුවට හෝ යොමු කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපි අහන ප්‍රශ්නවලට පිළිතුරු එවන්න. නැත නැත කියලා පිළිතුරු එවන්න බෑනේ. ලක්ෂ 12කට වඩා ඉන්නවා පිටරට ගිහිල්ලා රැකී රක්ෂාවල නියැළෙන. ඔවුන් ගැන පිළිතුරු නැහැයි කියලා එවලා තියෙනවා. මහ බැංකුවෙන් විමසන්න කියනවා. මහ බැංකුවෙන් විමසන්න ඕනේ නම් ඒ අමාත්‍යාංශය හෝ ඒ ආයතනවල මොකක්ද රාජකාරිය?. මේ විදිහට මේ සභාව නොමඟ යවන පිළිතුරු ලබා දෙන්න ඉඩ දෙන්න එපා ගරු නියෝජ්‍ය කථානායකතුමනි. මම රාජ්‍ය ඇමැතිතුමාට ගරු කරනවා නැඟිටලා මේකට පිළිතුරු දීම සම්බන්ධයෙන්.


පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම් ධුරයට නීතිඥ ටිකිරි කේ. ජයතිලක පත් කරයි

පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට සහකාර මහ ලේකම් ලෙස කටයුතු කළ ටිකිරි කේ. ජයතිලක මහතාව පෙරේදා (23) දින සිට පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (24) නිවේදනය කළේය. 2002 වර්ෂයේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීමෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ටිකිරි කේ. ජයතිලක මහතා රජයේ නීතිඥයකු ලෙස මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ රැසක නඩු කටයුතු මෙහෙයවා තිබේ.

වර්ෂ 2006 දී අධිකරණ සේවයට සම්බන්ධ වූ ජයතිලක මහතා මහේස්ත්‍රාත්වරයකු සහ අතිරේක දිසා විනිසුරුවරයකු ලෙස සේවය කරමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල අධිකරණ ගණනාවක සේවය කොට ඇත. 2015 වර්ෂයේ දී සහකාර මහ ලේකම්වරයකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවයට එක්වන ජයතිලක මහතා ව්‍යවස්ථාදායක සේවා පිළිබඳ සහකාර මහ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

ටිකිරි කේ. ජයතිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ද, නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් නීතිපති උපාධිය ද හදාරා ඇත. ඒ මහතා ප්‍රජා පාදක විශෝධනය පිළිබඳ ග්‍රන්ථයක්ද පළ කොට තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here