අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අද (නොවැ. 1) දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේරාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (ඔක්. 31) දැනුම් දුන්නා ය.
ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ මුද්‍රා තැබූ වාර්තාව වෛද්‍යවරුන් විසින් ඊයේ අධිකරණයට භාර දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ බව ප්‍රකාශ කළා ය.
ඔහුගේ දේහය මෙම මස 4 වන දින ජාවත්ත සුසාන භූමියේදී භූමිදානය කිරීම සඳහා පවුලේ ඥාතීන්ට භාර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
මේ වන විට කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙන ෂාෆ්ටර්ගේ දේහය භූමිදානය කරන සුසානභූමිය දක්වා ගෙනැවිත් එය භූමිදානය කරන තෙක් අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සලසන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා බොරැල්ල පොලිසියට නියෝග කළා ය.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ වෛද්‍ය අසේල මෙන්ඩිස් ඇතුළු වෛද්‍යවරුන් දෙදෙනෙකු දේහය භූමදානය කරන ස්ථානයේ රැඳී සිටිය යුතු බවට ද අධිකරණයෙන් නියම කෙරිණි.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මිය යාමට හේතුව සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ වාර්තාවේ ඇතුළත් කරුණු මත තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස එම පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙර නඩු වාරයේදී අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණ ද මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ඊයේ ප්‍රතික්ෂේප කළා ය.
මරණ පරීක්ෂණයක් යනු සාමාන්‍යයෙන් අපරාධ නඩුවක් නොවන අතර එය මරණයට අදාළ හේතුව නිර්ණය කිරීමට පවත්වනු ලබන අධිකරණමය නොවන කරුණු සෙවීමේ ක්‍රියාපටිපාටියක් බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා ය.
මරණයට අදාළ හේතුව ප්‍රකාශ කිරීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ මරණ පරීක්ෂණය පවත්වනු ලබන වෛද්‍යවරයාට හා පරීක්ෂකවරයාට පමණක් බව ද සාක්ෂි පාර්ශවයකට එවැනි ඉල්ලීමක් කිරීමට හෝ ඒ සඳහා මැදිහත්වීමට නීතියේ ප්‍රතිපාදන නොමැති බව ද මහේස්ත්‍රාත්වරිය අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළා ය.