18
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනක පැවැත්විය හැකි බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ නිදහස ජනතා සභා කාර්යාලයේදී පෙරේදා (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
සැප්තැම්බර් 18 සහ ඔක්තෝම්බර් 18 අතර කාලය තුළ ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් පවත්වන්නැයි ජනාධිපතිවරයාට සහ මැතිවරණ කොමිසම් සභාවට යෝජනා කරන බව එහිදී පැවසූ මන්ත්‍රීවරයා ඒ වෙනුවෙන් නිදහස ජනතා සභාවේ පූර්ණ සහාය දෙන බව කියා සිටියේය.
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණද එකම දවසේ පැවැත්විය හැකි බවත් නිදහස ජනතා සභාව ඊට වැඩපිළිවෙළක් යොජනා කර තිබෙන බවත් හෙතෙම කීවේය. ශ්‍රී ලංකාවේ වසර පහකට මැතිවරණ හතරක් පවත්වන බව පැවැසූ මන්ත්‍රීවරයා ඉන් කාලයත්,ධනයත්, රාජ්‍ය සම්පත් ද විශාල වශයෙන් විනාශ වන බව කියා සිටියේය.
ජනාධිපති, උප ජනාධිපති, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු සහ පළාත් පාලන මැතිවරණ ඉන්දුනීසියාවේ එකම දිනයකදී පැවැත්වූ බවත්, ඉන්දුනීසියාවේ ඡන්දදායකයන් මිලියන 204ක් සිටින බවත් අලහප්පෙරුම මහතා කියා සිටියේය.
කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතා වැනි නිර්භීත අවංක රාජ්‍ය සේවකයන් ඝාතනය කිරීමෙන් පැහැදිලිවන්නේ ඝාතක වුවමනාව පුද්ගලයෙකු නොව රාජ්‍ය සේවය ඝාතන කිරීම බව ඒ මහතා කීවේය.
රාජ්‍ය සේවයට දැල්වුණු රතු සංඥාවක් ලෙස එය තේරුම් ගන්නැයි මන්ත්‍රීවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය:
“හිටපු මුදල් ඇමැති, රොනී ද මැල් මහතාගේ අභාවය පිළිබඳ දැනගන්න ලැබුණා. එය ඉතා කනගාටුදායක පුවතක්.ඔහු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ නායකයෙක්. රුහුණු විශ්වවිද්‍යාලය ප්‍රමුඛ බොහෝ සම්පත් ලබා දුන්නා. අවුරුදු 11ක කාලයක් මුළුල්ලේ අයවැය ලේඛන11ක් ඉදිරිපත් කළ ඇමැතිවරයෙක්.
“මාගේ මතය අනුව, ආචාර්ය එන්.එම්. පෙරේරා, රොනී ද මෙල් මහත්වරුන් පමණමයි, ඔවුන් විසින්ම අයවැය ලේඛනය හදාගත් මුදල් ඇමැතිවරු. අනිත් සියලු දෙනා අඩු වැඩි වශයෙන් නිලධාරීන් විසින් සකස් කර දෙනු ලබන ලේඛන පාර්ලිමේන්තුවට ගෙනල්ලා කියවන එක විතරයි කළේ. වර්තමාන මුදල් ඇමැතිවරයාද ඇතුළුව ජනාධිපතිවරුන් කීපදෙනකු හිටියා මුදල් ඇමැතිවරුන් විදියට. ඔවුන්ගෙන් කිසි කෙනෙක් ඔවුන්ගේ ස්වශක්තියෙන් ඔවුන්ගෙන් චින්තනය මත අයවැය ලේඛන හදපු අය නෙමෙයි. මං නැවත කියනවා කෘතවේදීව ආචාර්ය එන්.එම්. පෙරේරා, රොනී ද මැල් කියන මුදල් ඇමැතිවරු දෙන්නා ඔවුන්ගේ චින්තනය, ඔවුන්ගේ වෙහෙස, ඔවුන්ගේ දැනුම පාවිච්චි කර අයවැය සම්පාදනය කළ මුදල් ඇමැතිවරු දෙදෙනෙක්.”
නුවන් කොඩිකාර